දශකයකට දෙවරක් පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි සම්මේලනය ඊයේ (18දා) පැවැත්විණි. මෙය ලෝකයේම අවධානය දිනාගත් අවස්ථාවක් වූයේ චීනයේ ඉදිරි ගමන කෙසේ සකස් වේදැයි බොහෝ දෙනෙකු අවධානයෙන් බලා සිටි බැවිනි. කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අමතා ජනාධිපති ෂි ජින්පින්ග් පැය තුනහමාරක දීර්ඝ දේශනයක් කළේය. එය සාරාංශ කර ගත්විට චීනය ලෝකයේ කේන්ද්‍රය බවට පත්වීමට කාලය පැමිණ තිබේ යැයි චීන ජනාධිපතිවරයා චීන ජනතාවට දැන්වූ බව දැක්විය හැකිය. ජනාධිපති ෂි ජින්පින්ග් මෙවැනි දීර්ඝ දේශනයකින් චීනය අනාගතයේදී ස්ථානගත විය යුතු ස්ථානය ගැන කියනුයේ හේතුවක් ඇතිවය. එසේ පැවසීමට හැකි මට්ටමට චීනය තමන්ගේ ගමන පැමිණ හමාරය.
චීන ජනාධිපතිවරයෙකු චීන කොමියුනිස්ට් පක්ෂ කොංග්රසයකදී පැවැත්වූ දීර්ඝතම දේශනයක් වන ෂී ජින්පින්ග්ගේ දේශනයේදී 36 වතාවක් 'New Era' (නව යුගයක්) යන වචනය පාවිච්චි කළේය. එය චීනය නව යුගයකට ගමන් කරන බවට ඔහුගේ ඇති විශ්වාසය පැහැදිලි කරන්නක් වන අතර, චීන වැසියන්ගේ සිත්වල නව ප්රබෝධයක් ඇති කිරීමටද හේතු වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. තමන්ගේ දීර්ඝ දේශනයේදී චීන ජනාධිපතිවරයා ප්‍රධාන කරුණු කිහිපයක් ඉදිරි පස් වසර වෙනුවෙන් ඉදිරිපත් කළේය. චීන අනන්‍යතාවක් සහිත සමාජවාදී සංකල්පය ඉදිරියට ගෙන යෑම, දේශපාලන ප්‍රතිසංස්කරණ නොකිරීම, දූෂණයට එරෙහි සටන දැඩි කිරීම, රටක් ලෙස ලෝකයේ ඉදිරියට යෑමට එක්වීම එහි ප්‍රධාන කරුණු වෙයි. චීනය ලෝකයට වඩාත් විවෘත කිරීම හරහා විදේශිකයන්ට චීන වෙළෙඳ පොළට ඇතුළු වීමේ වැඩි අවස්ථාවක් සලසා දීම ගැන චීන නායකයා පැහැදිලි කළේය. එසේම සේවා සහ මූල්‍ය වෙළෙඳ පොළ විවෘත කිරීම සම්බන්ධයෙන්ද වැඩි නැඹුරුතාවක් ඇති බව චීන නායකයාගේ දීර්ඝ දේශනයෙන් පැහැදිලි විය. එසේම චීන වෙළෙඳ පොළට පැමිණෙන විදේශීය නිෂ්පාදකයන්ට අවශ්‍ය ආරක්ෂාව සහතික කිරීමට චීනය කටයුතු කරන බවටද මෙම දේශනයේදී කරුණු අනාවරණය විය.
%චීනය විවර කළ දොරටු වසා දැමෙන්නේ නැත. ඒවා තවදුරටත් පුළුල්ව විවෘත වනු ඇත^ යැයි චීන ජනාධිපතිවරයාගේ දේශනයේදී සඳහන් විය. පෞද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් එසේ අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා, රජයේ ආයතන ශක්තිමත් කිරීමත්, පුළුල් කිරීමත් සම්බන්ධයෙන්ද වැඩි නැඹුරුවක් පෙන්වීය. එසේම රජයේ ආයතන ප්‍රතිසංස්කරණය කර ලෝක වෙළෙඳ පොළෙහි තරගයක් දිය හැකි ආයතන බවට පත්කරන බවද චීන ජනාධිපතිවරයා පැවසීය. එක් අතකින් පෞද්ගලික ආයෝජන සඳහා කොළ එළියක් දල්වා රජයේ ආයතන සම්බන්ධයෙන් කොළ එළියක්ද දැල්වීම සම්බන්ධයෙන් ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ විමතිය පළ කරති. එහෙත් චීන ජනාධිපතිවරයාගේ අදහස වන්නේ චීන ව්‍යාපාර ලෝක මට්ටමට ගෙන ඒම බව බැලූ බැල්මට පෙනේ. චීනයේ බොහෝ ව්‍යාපාර රජය සමග බද්ධ වී තිබීම හේතුවෙන් මෙම ව්‍යාපාර ලෝකයේ ප්රමුඛ ව්‍යාපාර බවට පත්කිරීම යනු චීන රජය ලෝකයේ ප්‍රමුඛයා බවට පත්කිරීමක් වෙයි. ජනාධිපති ෂී ජින්පින්ග්ගේ අදහස වන්නේ මෙයයි.
එසේම දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැඩි අදහසක් ඉදිරිපත් කළ ජනාධිපතිවරයා චීන සමාජවාදී ක්‍රමය ලෝකයේ වඩාත් කතාබහට ලක්වන ප්රජාතන්ත්රවාදී ක්රමයන්ට වඩා ජනාතාවට බොහෝ දේ දිනා දී ඇති බව පෙන්වා දුන්නේය. මේ නිසා කඩා වැටෙන පක්ෂ දේශපාලනයට වඩා චීන ක්රමයේ ප්රජාතන්ත්රවාදය වඩාත් වැදගත් බව ඔහු සිය දේශනයේදී පෙන්වා දුන්නේය. ලෝකය තුළ චීනයේ බලපෑම වැඩි වුවද කිසිදු රටකට චීනය තර්ජනයක් නොවන බව ජනාධිපති ෂී පැවසීය. මෙය වඩාත් වැදගත් වන්නේ චීන ආයෝජන බහුල රටවලටය. බටහිර කඳවුර නිරන්තරයෙන්ම චීන අධිපතිවාදයක් සම්බන්ධයෙන් මතයක් නිර්මාණය කරයි. එහෙත් චීනයේ බලාපොරෙත්තතුව සාමකාමී සංවර්ධනයක් ලෝකයේ ඇති කිරීම බව ජනාධිපතිවරයා පැවසීය. 2050 වනවිට චීනය වඩාත් සශ්‍රීක සුන්දර රටක් බවට පත්කිරීමේ දීර්ඝ කාලීන සැලැස්ම පිළිබඳවද ඔහු සිය අදහස් ඉදිරිපත් කළේය.
මාඕ සේතුංගෙන් පසුව චීනයේ වඩාත්ම බලයක් අත්පත් කරගත් පුද්ගලයා ලෙස සැලකෙන්නේ වර්තමාන ජනාධිපති ෂී ජින්පින්ග්ය. එයට එක් හේතුවක් වන්නේ ඔහු පක්ෂය තුළත් සාමාන්‍ය ජනතාව තුළත් ප්‍රචලිත වීමය. එසේම මෙවර කොමියුනිස්ට් පක්ෂ සම්මේලයේදී චීන ජනාධිපතිවරයාගේ දේශපාලන අදහස් කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට එක් කිරීමටද නියමිතය. එය චීන ජනාධිපතිවරයෙකු ලැබූ සුවිශේෂ අවස්ථාවක් ලෙස ඉතිහාස ගත වේ. මීට පෙර මාඕ සේතුං සහ ඩෙන් ෂියාඕපින්ග් යන නායකයන්ට පමණක් මේ අවස්ථාව හිමි විය. එයින්ද මාඕ වර්තමාන චීනයේ නිර්මාතෘ වීම නිසා එය නිරායාසයෙන් ලැබූ අවස්ථාවක් විය. ඒ අනුව ඩෙන් ෂියඕපින්ග්ගෙන් පසුව වඩාත් බලවත් වූ සහ විචාරශීලී වූ චීන ජනාධිපතිවරයා බවට ෂී ජින්පින්ග් පත්ව තිබේ. මේ නිසාම ඉදිරියේදී පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව අවසානයේදී මේ වනවිට පක්ෂය තුළ වඩාත් බලවත් ෂී ජින්පින්ග් යළිත් චීන ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමට ඇති අවස්ථාව ඉතා වැඩිය. එහෙත් චීන කොමියුනිස්ට් පක්ෂයේ බලය වෙනස් වන්නේ නැත. ඔවුන් සිය නායකයාට අවශ්‍ය මාර්ගය එළිපෙහෙළි කිරීමේ කාර්යය සිදුකරයි. නායකයාට ලෝකය අභිභවා යා හැකි වුවද පක්ෂය අභිභවා යා නොහැකි වීම චීන දේශපාලනයේ ඇති අපේ රටේ දකින්නට නොමැති සුවිශේෂත්වයයි.