වැඩිපුර දඟලන අයකු දුටුවිට අසන්නේ කැසිල්ල හැදිලාද කියලාය. එයින් අදහස් වෙන්නේ කැසිල්ල හැදුණු විට වැඩියෙන් දඟලන බවය. සමහර අයට කැසිල්ල හැදුණු විට තැන නොතැන නොබලා කස කසා දඟලනවාය. සමහර අය නම් කැසිල්ල නැති වුණත් ඕනෑවට වැඩිය දඟලන්නේ කැපී පෙනීම සඳහාය.
කහඹිලියා ගෑවුණු විට නැති කැසිල්ල ඇති වෙනවාය. ඉස්සර නම් වැරදි කරන දරුවන්ට දඬුවම් දෙන්නේ කහඹිලියා ගා කැසිල්ල ඇති කිරීමෙන්ය. කහඹිලියා ගෑවුණු විට ආතක් පාතක් නැතුව කසනවාය. කහඹිලියා ගෑවේ නැති වුණාට අද නම් කොල්ලන් කෙල්ලන් සෑම වෙලේම කහඹිලියා ගෑවිලා වගේ කස කසා දඟලනවාය. ඔවුන්ගේ මේ කැසිල්ල නැති වෙන්නේ කාගෙන් හෝ මට්ටු වූ පසුවය.
විවිධ කැසිලි තියෙනවාය. ඒවා අතර වැඩිපුර ලාභ ප්‍ර‘යෝජන ලැබෙන්නේ පිට කැසිල්ලෙන්ය. කොච්චර හයිකාරයෙකුට වුණත් තමන්ගේ පිට තමන්ටම කසා ගන්නට නම් බැරිය. ඒ හින්දා තම පිට කැසිල්ලට අනුන්ගේ සහාය ලබාගන්නට සිද්ධ වෙනවාය. ඒ බව දන්න සමහරුන් අනුන්ගේ පිට කසලා නොයෙක් වාසි අත්කර ගන්නට උත්සාහ ගන්නවාය. ඒත් මේ පිට කසන්නේ ප්‍ර‘යෝගයකට යැයි කියලා දැන ගතහොත් එයින් බේරෙන්න පිට අයිතිකාරයාට පුළුවන්ය. ඒත් අද වෙලා තියෙන්නේ ඒ බව නොදන්වා පිට කැසිල්ලෙන් වාසි ලබා ගැනිල්ලය.
තුවාලයක් සුව වෙමින් පවතින විටද කැසිල්ල ඇති වෙනවාය. ඒත් එහෙම කසන්නට ගියහොත් සිදුවෙන්නේ තුවාලය තවත් වැඩිවෙන එකය. දද, කුෂ්ට ආදී රෝග හැදුණු විටද කැසිල්ල හැදෙනවාය. එම තුවාල කසන විට සුවයක් දැනුණත් කැසිල්ල නැවැත් වූ විට යළි වේදනාව දැනෙනවාය. ඒ නිසා කැසිල්ලෙන් කිසිවක් නිට්ටාවට සුව කරගත නොහැකි බව දැන ගත්තොත් හොඳය.
හිසේ කැසිල්ල ඇති වෙන්නේ හිසේ උකුණන් බෝවූ විටය. හිසේ කුණු බැදුණු විටද කැසිල්ල හටගන්නවාය. මේ හේතු දෙකම නැති වුණත් තම හිස කසන අය ඉන්නවාය. යම් ප්‍රශ්නයකට පිළිතුරක් නැති බව ව්‍යංගයෙන් පෙන්වන්නේ හිස කැසිල්ලෙන්ය. සමහර අය හිස කසන්නේ තමන්ගේ වාසියටය. අනුන්ට භය පක්ෂපාතකම පෙන්වන්නටද හිස කසන අය ඉන්නවාය. වැඩි යටහත් පහත්කම පෙන්වමින් හිස කසා වාසි ලබාගැනීම ඒ අයගේ බලාපොරොත්තුවය.
කොහොම වුණත් තුවාලය වගේම හිස කැසිල්ලෙන්ද සහනයක් දැනෙනවාය. තම හිස අන් අයෙකු ලවා කසවා ගන්නා විට ඊටත් වඩා සුවයක් දැනෙනවාය. ඒ හින්දා සමහර අය අනුන්ට කියලා හිස කසවා ගන්නට පුරුදු වී සිටිනවාය. එහෙත් එහෙම හිස කසා ගැනීමට ළං කර ගන්නා අය අන්තිමට තම බෙල්ලත් කපන්නට පුළුවන් බව දැනගත යුතුය.
හිස කැසිල්ලට වඩා අල්ල කැසිල්ල හොඳය. ඒ අල්ල කැසිල්ල ඇති වූ විට සල්ලි ලැබෙනවා යැයි පිළිගැනීමක් තිබෙන නිසාය. ඒ නිසා බොහෝ අය අල්ලේ කැසිල්ලක් ඇති වෙනවාට වඩාත් කැමතිය. එහෙත් අද නම් හොර බොරු වංචා කරන අයට අල්ල නොකැසුවත් සල්ලි ලැබිල්ල නවතින්නේ නැත්තේය. උගුරේ කැසිල්ල ඇති වෙන්නේ අසනීපවලටය. සෙම් අමාරු ඇතිවිට උගුර කසනවා යැයි කියනවාය. උෂ්ණාධික ආහාර ගත්විටද උගුර කසනවාය. ඒත් උගුරේ කැසිල්ල හැදුණත් උගුර කසා ගන්නට නම් කාටවත් බැරිය. ඒ නිසා කැසිල්ල විඳවා ගන්නට වෙනවාය.
උගුර වගේම නාසයද කසන්නේ රෝග ලක්ෂණවලටය. පීනස් අමාරුවටද නහය කසනවාය. ඇස්වල කැසිල්ල ඇතිවෙන්නේ ඇසට රොඩු වැටුණු විටය. එහෙම කැසිල්ල ඇති වූ විට කියන්නේ ඇස කෙවෙනවා කියලාය. ඇසේ කැසිල්ල නිසා කඳුළු උනනවාය. ඒ කැසිල්ලෙන් උනන කඳුළු නිසා ඇසේ වැටුණු රොඩු ඉවත්වනවා යැයි කියනවාය. ඇඟිලිකරු කසන්නේ දිය මිටියන් කෑ විටය. මඩ ගොහොරු පාගාගෙන ගිය විට මඩේ සිටින දියමිටියන් කාලා කකුල් කසන්නට පටන් ගන්නවාය. එහෙත් අද නම් වැඩි දෙනා කවදාවත් මහපොළොව පාගන්නේ නැති නිසා කකුල් කසන්නේ නැත්තේය.
ඇඟේ ලේ නරක් වුණාමත් කසනවා යැයි කියනවාය. ඇඟ කැසූවිට පළු මතු වෙනවාය. ඒ පළු තවත් කසන විට තුවාල බවට පත්වෙනවාය. පිරිසුදුකම අඩුවුණාම ඇඟ කසන්නේ කුණු බැඳීම නිසාය. ඇඟ කැසිල්ල වැඩි වුණාම කසානෝ හැදිලාය කියනවාය. ඒ නිසා කසානෝවලට බෙහෙත් නොකළත් පිරිසිදුව සිටින විට කැසිල්ල නවත්වා ගන්නට පුළුවන්ය. මිනිසා තවත් මිනිසෙකු ලවා පිට කසවා ගත්තාට වැරැද්දක් නැත්තේය. එහෙත් මිනිසෙකු ලවා පිට කසවාගත් කොටියෙකු පිළිබඳ කතාවක් තිබෙනවාය. සිල් රකින්නට යන පුංචි ගමරාළ ලවා හැමදාම තම පිට කසවා ගන්නට කොටියෙක් පුරුදුවෙලා සිටියේය. මේ පිට කැසිල්ලේ දඬුවම නිසා පුංචි ගමරාළට රෑට පැල් රකින්නට යෑම තිත්ත වෙලා තිබුණාය. මල්ලීට සිදුව ඇති මේ අකරතැබ්බයෙන් ඔහු බේරා ගන්නට එදා හේනේ පැලට ගිය ලොකු ගමරාළට කොටියා පරණ පුරුද්දට &පිට කහපිය, ගිනි පිඹපිය කියලා පවසා තිබෙනවාය. ලොකු ගමරාළ පිට කසනවා වෙනුවට ගිනි ගොඩේ දමා තිබූ ලොකු අලවංගුවකින් කොටියාගේ පිට පුළුස්සා හොඳ පාඩමක් ඉගැන්නුවේය. එදායින් පසු කොටියාගේ පිට කැසිල්ල සදහටම නැතුව ගියේය.
යුද්ධය පටන් ගත් සමයේ උතුරේ කොටිද උන්ගේ පිට කසා ගැනිල්ලට අසරණ දෙමළ ජනතාව යොදවාගෙන සිටියේය. ඒත් යුද්ධය ජයගත් පසු කොටින්ගේ කැසිල්ල නැත්තටම නැති විය.
බල්ලන් කෑවිට කැසිල්ල ඇති නොවන නමුත් බලුමැක්කන් කෑවිට නම් යහමින් කසනවාය. බල්ලාටත් කැසිල්ල හැදෙන්නේ බලුමැක්කන් බෝවූ පසුය. බලුමැක්කන් කෑවිට අපටත් කැසිල්ල හැදෙන නිසා බල්ලන් ළංකර ගැනීම නොකළ යුතුය. කොහොම වුණත් මේ කැසිල්ල ඇතිවන්නේ වල්බල්ලන්ගෙන් මිස සැපට හදන රටබල්ලන්ගෙන් නොවේය. බල්ලොත් එක්ක නිදා ගත්තොත් බලුමැක්කන් සමග නැගිටින්නට සිද්ධ වෙන්නේ කැසිල්ල හැදෙන නිසාය.
දේශපාලුවන් ඡන්දදාසලා ඉදිරියේ හිස කසන්නේ ඡන්ද ඉල්ලන්නට පටන් ගත්තාමය. ඒ ගොල්ලෝ ඡන්දෙන් දිනලා දියවන්නාවට ගියාට පසු ඡන්දදාසලාට සිද්ධ වෙන්නේ සදාකාලිකවම දේශපාලුවන් ඉදිරියේ හිස කසමින් සිටින්නටය.