'පොහොට්ටුව දිනලා සුනාමියක් ඇවිත් වගේ මචං හේදිලා ගිහින් තියෙන්නේ' මේ අපේ මාධ්‍ය හිත මිතුරන් පසුගිය පෙබරවාරි 10 වැනිදා කතා කළ දේවල්ය. &කවදාවත් තෙවැනි බලවේගයක් හදලා එන්න බෑ' මේ ආණ්ඩු පක්ෂයෙන් කී කතාවය. හැබැයි පළමු වැනි වතාවට තෙවැනි බලවේගයක් ජනතාව ඉදිරියට ගෙනාවේය.
බණ්ඩාරනායක 1952 ජූලි 12 වැනිදා විරුද්ධ පක්ෂයට එකතු විය. සේනානායක ආණ්ඩුවේ පළාත් පාලන අමාත්‍ය ධුරය වගේම සභානායක වූයේද බණ්ඩාරනායකය. එවකට ප්‍රධාන පක්ෂය වූයේ එක්සත් ජාතික පක්ෂයයි. ඉන් පසු බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත්තේය.
1952දී දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් බණ්ඩාරනායකට දිනාගත හැකි වූයේ ආසන 09කි. නමුත් බණ්ඩාරනායක 1956 දී බලය ගැනීමට සමත් විය. එතැනින් පසු මෙරට තෙවැනි බලවේගයකට රටේ පාලනය ලබා ගැනීමට හෝ මැතිවරණයක් දිනා ගැනීමට නොහැකි විය.
1964 දී රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවීය. රහසිගත දේශපාලන ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණ 1970 මැතිවරණයෙන් පසුව යම් තරමකට කරළියට පැමිණියේය. 1971 අප්‍රේල් 05 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් එම වකවානුවේ %චේ ගුවේරා^කාරයන් ලෙස හැඳින්වූ මෙම දේශපාලන පක්ෂය කැරැල්ලකට මුල පිරීය. නමුත් චීනය, ඉන්දියාව, සෝවියට් රුසියාවේද ආධාර ඇතිව සිරිමාවෝගේ ආණ්ඩුව එය මර්දනය කළේය.
83 ජූලි කලබලය මගින් අන්තර්ජාතිකව එල්ල වූ විවේචන නිසා ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිට්ස්ට් පක්ෂය හා නව සමසමාජ පක්ෂය තහනම් කෙරිණි. %ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කිව්වා වගේ^ ජනතා විමුක්ති පෙරමුණට තම රහසිගත දේශපාලනය කරගෙන යන්නට හැකි විය. ඉන්දු -ලංකා ගිවිසුමට විරෝධය පළකරමින් නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලද ආණ්ඩුව විසින් දැඩි ලෙස මර්දනය කරන ලදී. පසුව ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඇතුළත් වූ අතර, අද වන විටද කිසිදු මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට හැකිව නොමැත.
තෙවැනි බලවේගයක් නිර්මාණය කරන්නට උත්සාහ ගත් විජය කුමාරතුංග 1989.02.16 පොල්හේන්ගොඩදී ඝාතනය විය. මහජන පක්ෂය ආරම්භ කළ විජය කුමාරතුංග, ඔසී අබේගුණසේකර, රාජිත සේනාරත්න, කාලෝ ෆොන්සේකා, ෆ්ලීක්ස් පෙරේර වැනි අය මේ රට තුළ තෙවැනි බලවේගයක් කරා යන්නට විශාල රැල්ලක් සකස් කළහ. නමුත් විජයගේ ඝාතනයත් සමග එය බිඳ වැටිණි.
විජයගේ ඝාතනයෙන් පසුව ඔහුගේ පක්ෂය වන මහජන පක්ෂය ඇතුළු තවත් වාමාංශික පක්ෂ හතරක් එකතු වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටුවා ගත්තද, තෙවැනි බලවේගයක් ලෙස ඉදිරියට එන්නට නොහැකි විය.
ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක %රාජාලියා^ ගොඩනගා ගත්හ. ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක යනු ලංකාවට මහත් කීර්තියක් මෙන්ම විශාල සේවයක් කළ දෙදෙනෙකු බව අමුතුවෙන් කිව යුතු නැත. කවුරුන් කෙසේ කීවත් මහපොළ, මහවැලිය අදටත් ජනතාවගේ හදවතේ රැඳුණු දේවල්ය. එක්සත් ජාතික පක්ෂයෙන් ලලිත්, ගාමිණී ඇතුළු 11 දෙනෙකු එළියට බැස්සේය. චන්ද්‍රා ගන්කන්ද, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර හා ලක්ෂ්මන් සෙනෙවිරත්න මෙහිදී ලලිත් හා ගාමිණීට සහාය පළකළහ. එදා %රාජාලියා^ යනයන තැන සෙනග ආවේය. කුරුණෑගල ජොන්ස්ටන් සංවිධානය කළ රැස්වීමට අතුරු සිදුරු නැතිව සෙනඟ පැමිණ සිටියේය. එදා එතැනින් ගිය හමුදා රථ පෙළක්ද මේ දැවැන්ත රැලිය අවසන් වනතුරු සිට පිටත්ව ගිය බව අදත් ජනප්‍රිය කතාවකි. කොච්චර සෙනග සිටියද, ලලිත්, ගාමිණීට මැතිවරණයකින් බලය ගන්නට හැකිවූයේ නැත.
ඉන් අනතුරුව සෝම හිමියන්ගේ අපවත්වීමත් සමග රටේ බෞද්ධ ජනතාව තුළ විශාල රැල්ලක් ඇති විය. හෙළ උරුමයද තෙවැනි බලාව්ගයක් බවට පත්විය. නමුත් හෙළ උරුමයේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ඔවුන්ට ඉදිරි ගමනක් නොමැති විය. මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කර 2015 ජනවාරි 08 වැනිදා යහපාලන ආණ්ඩුව බලයට පත්විය. ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද නැවතත් පොදුජන පෙරමුණ පිහිටුවාගෙන කරළියට පැමිණියේය.
ඉතිහාසය පුරාවටම තෙවැනි බලවේගයක් මැතිවරණ ජයග්‍රහණය කර නොමැති නිසාවෙන්ද, තුනෙන් දෙකක බලයක් තිබූ ආණ්ඩුව පොදුජන පෙරමුණ කිසිසේත් ගණන් ගත්තේ නැත. නමුත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල එනවිට ආණ්ඩුව වගේම ජනතාවත් තක්කු මුක්කු වී ගියේය. ඉතිහාසයේ ප්‍රථම වතාවට තෙවැනි බලවේගයක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන තිබිණි. කවුරුත් බලාපොරොත්තු නොවූ මෙම ප්‍රතිඵලය නිසා ආණ්ඩුවද හෙල්ලුණේය.
ආණ්ඩුවේ පැත්තෙන් සිත නිවන කතා මොන තරම් කීවද, ජන බලය ආණ්ඩුවෙන් ගිලිහී ගොස් හමාරය. %මේක හරියට ජනමත විචාරණයක් නැත්නම්, ආණ්ඩුවේ අවුරුදු 03ක කරපු වැඩවල රිපෝට් කාඩ් එක වගේ' යැයි 'සුහුරු සිතිවිලි'වලින්ම පෙන්වා දුන්නේය. ආණ්ඩුව කළ වැරදි බොහොමයක් ඇත. අනුන්ගේ අල්මාරි පෙට්ටගම් අවුස්සාගෙන හිටපු එක විනා ආණ්ඩුව ජනතාවට සහන දුන්නේ නැත. යූ.එන්.පී. එකට ඉතිහාසයේම පාඩම් ඇත. එදා දෙවැනි බලවේගය වූ බණ්ඩාරනායකට බලයට එන්න පාර කැපූ එක් සංධිස්ථානයක් වූයේ 1953 හර්තාලයයි. එවකට මුදල් ඇමතිව සිටි ජේ.ආර්. ආහාර සහනාධාරය ඉවත් කළේය. මහජනතාව දැවැන්ත හර්තාලයක් කළේය. මිනිසුන්ට සහන ලබා දුන්නේ නම්, ආණ්ඩුවට මෙහෙම දෙයක් සිදුවන්නේ නැත. මේ වන විට ජනතාවගේ බහුතරය නැති ආණ්ඩුව කළ යුත්තේ කතාව අඩුකර ජනතාවට වැඩ කිරීමය. අනුන්ගේ පෙට්ටගම් දේශපාලන වාසි නොතකා අරින්නේ නැතිව පසුගිය රජයන් කළ වැඩ ඇත්නම් පිළියම් යොදා ඉදිරියට ගෙනයෑමය. ජනතාව හැමදාම බලන්නේ තමන්ට ඉටුවන සේවය මිස වෙනත් කෙහෙල්මලක් නොවේ. ඒ සුභසාධක රාජ්‍යවල හැටිය. මේ ජනතාවගේ අප්‍රසාදය ප්‍රසාදයක් බවට පත් කිරීමට තවමත් කාලය ඇත. එහෙම බැරි නම් කළ යුත්තේ නැවත මැතිවරණයකට ගොස් අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමය. වෙන වෙන ආණ්ඩු මාරු කරගෙන යනවාට වඩා තියෙන දේ රැකගෙන ජනතාවට සේවය කළහොත් නම් නැවත ජන ප්‍රසාදය ඇතිකර ගත හැකිය. නැතිනම් සිදුවනුයේ දිනෙන් දින ආණ්ඩුව අප්‍රසාදයට පත්වීමය.
නිපුන් ඒකනායක