ඇල්ලිල්ල අපේ ජීවිතවලට බොහෝ සම්බන්ධය. අල්ලලා හිරකර ගන්නා අය මෙන්ම අල්ලලා අතහරින අයද ඉන්නවාය. ඇල්ලුවා යැයි පුරසාරම් දොඩන අය පසුව අත ඇරුණාම කියන්නේ බැරිවෙලා අතහැරියා කියලාය. සංසාරය දිගටම අල්ලා ගන්නේ තණ්හාව නිසා යැයි කියනවාය. බෝධි සත්ත්වයන් අල්ලාගෙන සිටි සියලුම සැප සම්පත් අතහැරලා මහණ වෙන්නට ගියේ බුදු බව ලබා ගන්නටය. ඒ නිසා අල්ලාගෙන සිටින සියල්ල අතහැරලා මිසක විමුක්තිය ලබන්නට බැරිය. ඒත් අපේ බොහොම අය කරන්නේ අතහැරිල්ල වෙනුවට දිගටම අල්ලාගෙන තමන්ගේ ගොඩ වැඩි කරගැනීමට උත්සාහ කිරීමය.
රටේ අපරාධකරුවන් අල්ලන්නේ පොලීසියය. පොලිස් නිලධාරීන්ට එහෙම ඇල්ලිල්ල ගැන පුහුණුවක්ද දීලා තියෙනවාය. එහෙත් පොලීසියෙන් අල්ලපු අය අතහැරිලා ගිය අවස්ථා බොහෝය. සොරුන්, මිනීමරුවන් ඇල්ලිල්ලට යන පොලීසියට ඔවුන් සමග සටන් කරන්නටද වෙනවාය. මිනීමරු ප්රභාකරන් ඇල්ලීමට අපේ පොලීසියට හා ත්රිවිධ හමුදාවට අවුරුදු තිහක්ම ගතවුණේය. ඒත් වෙඩි තියලා මරලා මිසක පණපිටින් ප්රභාකරන් අල්ලන්නට බැරි විය.
ඇතැම් වෙලාවලට අපරාධකාරයන් පොලීසියට භාර වුණත් පොලිස් පොතේ ලියැවෙන්නේ මෙහෙයුමකින් ඔවුන් අල්ලලා අත්අඩංගුවට ගත් බවය. මුලින්ම කරන්නේ අල්ලපු අය කුදලාගෙන ගොස් කූඩුවේ දැමිල්ලය. එහෙම අල්ලපු අය පැය විසිහතරක් තුළ උසාවියට ඉදිරිපත් කරන්නට ඕනෑය. ඒත් සමහර වෙලාවල උසාවියට ඉදිරිපත් කිරීමට පෙර ඇඟේපතේ තැළීම්, බිඳීම් ඇතිවුණා යැයි කියලා ඇල්ලූ අය රෝහලට ඉදිරිපත් කිරීමට සිදු වූ අවස්ථා තිබෙනවාය. ඇල්ලූ සමහර අයට ආපසු පණපිටින් ගෙදර එන්නට බැරි වෙලාද තිබෙනවාය. අල්ලපු සැකකරුවන් ආයුධ පෙන්වන්නට යැයි කියා මහ රෑ රැගෙන යන පොලීසිය අන්තිමට කියන්නේ මිනිහා පොලීසියට බෝම්බ ගහපු නිසා ආත්මාරක්ෂාවට වෙඩි තබන්නට සිදු වූ බවය.
සමහරුන් ආදරයටද අතින් අල්ලනවාය. එහෙම අතින් ඇල්ලිල්ල එතනින් නැවතුණොත් හොඳය. එයිට එහාට ගියහොත් අල්ලපු කෙනා අමාරුවේ වැටෙන්නට පුළුවන්ය. කොහොම වුණත් කාන්තාවන්ගේ අතින් ඇල්ලිල්ල නම් බොහොම පරිස්සමෙන් කරන්නට ඕනෑ ක්රියාවක්ය. මොකද කාන්තාවන්ගේ අතින් ඇල්ලිල්ලද අපයෝජනයක් යැයි නීතිපොතේ සඳහන් වී තිබෙන නිසාය. ඒත් කැමැත්තෙන් ඇල්ලුවාම එහෙම දෙයක් වෙන්නේ නැතිය. ඒ හින්දා අතින් ඇල්ලීමට පෙර කැමතිද අකමැතිද යන්න දැන ගැනිල්ල හොඳය. යන්න හදන විට යන්න එපා කියලා අතින් අල්ලනවාය. කෙල්ලන් කොල්ලන් අත්වලින් අල්ලාගෙන මුහුදු වෙරළේ අැවිදින්නට යන්නේ ආදරය හින්දාය. එහෙම යන ආදරවන්තයන් කසාද බැන්දුවාට පස්සේ කෙස්වලුවලින් අල්ලන්නේ අඩදබර ඇතිවුණාමය. ඊළඟට බෙල්ලෙන් අල්ලන්නටද සිදුවෙනවාය.
ක්රිකට් සෙල්ලමේදී බෝලය ඇල්ලිල්ලට කියන්නේ කැච් එක කියලාය. එහෙම 'කැච් එක' අල්ලුවාම පිතිකරුවා පිටියෙන් ඉවත් කරන්නට වෙනවාය. ක්රිකට් විතරක් නොව බෝල ඇල්ලීමේ සෙල්ලම් තව බොහෝමයක් තියෙනවාය.
කෙනෙක් ඇල්ලිල්ල කරන්නේ දඬුවමක් විදිහටය. ඉස්සර ගුරුතුමා දඟකාර සිසුවෙකුගේ කනෙන් ඇල්ලුවේ ඔහු හදා ගන්නටය. ඒත් දැන්නම් ගුරුවරු සිසුන්ගේ කනෙන් අල්ලන්නේ නැත්තේ තමන්ට උසාවියට යන්නට වෙයි කියන බයටය. එහෙමත් නැතිනම් ඇල්ලූ සිසුවාගෙන් තම කන පරිස්සම් කරගන්නට ඕනෑ හින්දාය.
නිල ඇල්ලිල්ල කරන්නේ ලෙඩ සුව කරන්නටය. සමහර වෙද රාළලා බෙහෙත්වලින් සුව කරන්නට බැරි රෝග නිල ඇල්ලීමෙන් සනීප කරනවාය. නිල ඇල්ලිල්ලෙන් රෝග සුව කරනවා වගේම තම ප්රතිවාදියා බිම දමන්නටද පුළුවන්ය. හරි නිලයක්ම අල්ලලා සදාකාලික අබ්බගාතයෙක් කරන්නට පුළුවන් අයද සිටිනවාය. මහා හස්ති රාජයෙක් වුවද පුංචි නිලයක් අල්ලලා බිම දමන්නට පුළුවන්ය.
අල්ලස් කොමිසම තියෙන්නේ අල්ලස් ගන්නා අය ඇල්ලිල්ලටය. කොමිසම අල්ලස් ගන්න අය අල්ලන්නට මහජන සහායද ඉල්ලනවාය. අල්ලස් කොමිසම බොහෝවිට දක්ෂ හාල්මැස්සන් අල්ලන්න මිසක ලොකු තෝරු මෝරු අල්ලන්නට නොවේ යැයි කියනවාය. අල්ලන්නට එළන දැල අස්සෙන් රිංගා යෑමට හයිකාරයන්ට හා ලොකු ලොකු මහත්වරුන් අල්ලන්න අමාරු ඒ අය අල්ලස් නොගෙන කොමිස් ගන්නා හින්දාය.
මාළු ඇල්ලිල්ලට කියන්නේ ධීවර කර්මාන්තය කියලාය. මාළු ඇල්ලිල්ලට බිලී පිත්ත පාවිච්චි කළේ ඉස්සරය. අද මාළු අල්ලන්නේ විශාල දැල් දමලාය. එහෙම නැතුව තහනම් ආම්පන්න පාවිච්චි කරලාද වෙඩි දමලාද විශාල වශයෙන් මාළු ඇල්ලිල්ල නිසා අපේ මාළු හිඟවෙලා තියෙනවාය. අපේ මසුන් ඇල්ලිල්ලට එන ඉන්දියාවේ ධීවරයන් අල්ලලා හිරේ දමන්න වෙනවාය. ඒත් එහෙම අල්ලපු අය ඒ රටවල බලපෑම් නිසා ආපසු යවන්නට සිද්ධවෙලා තියෙනවාය. මසුන් ඇල්ලිල්ලට සුදුසු මුහුදු රට වටේම තිබුණත් අද අපට වෙන රටවල ඇල්ලූ මාළු ගේන්න සිද්ධ වෙලාය.
සමහර දරුවන් පොතක් අතින් අල්ලන්නටත් කැමති නැත්තේය. මුළු දවසම රූපවාහිනී හරි ජංගම දුරකථනවලට හරි යටවී සිටින දරුවන්ට පොත් අල්ලන්න මතක් වනුයේ විභාගය ළංවූ විටය. බොහෝ දෙනා මුළු දවසම ටියුෂන්වලට යටවෙලා ඉන්න නිසා පොතක් අල්ලන්න වෙලාවක් නැත්තේය.
යන්ඩ දීලා බොරුවට අල්ලන අයද ඉන්නවාය. ආඳා වලිගෙන් අල්ලන්න හදනවා කියන්නේ එහෙම ඇල්ලිලිවලටය. සමහරුන් නුරුස්සන විට කියන්නේ මට නම් ඌව අල්ලන්නේ නැහැ කියලාය. අලි අල්ලන්න බොහොම අමාරු වුණත් ඡන්දෙ ළං වෙනවිට අලි ගෙවල්වලට එන නිසා අල්ලන්න අමාරු නැත්තේය.