ඇමෙරිකා - චීන වෙළෙඳ යුද්ධය
ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් පවතින බවට ලෝකයේ කතාබහක් ඇති වී තිබේ. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අප්‍රේල් මස 03 වැනිදා ඇමෙරිකාව විසින් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ විශාල ප්‍රමාණයකට බදු පැනවීමත් එයට ප්‍රතික්‍රියාවක් ලෙස චීනය විසින් ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 106කට බදු අය කිරීමට තීරණය කිරීමත් නිසාය. ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් සිය අදහස ඉදිරිපත් කළේ, මීට දින කිහිපයකට පෙරය. එහෙත් ඇමෙරිකාව බදු අය කරන භාණ්ඩ ලැයිස්තුව ඉදිරිපත් කළේ අඟහරුවාදා දිනයේදීය. ඇමෙරිකාව හිතන්නටත් පෙර සූදානමින් සිටි චීනය තමන් බදු අය කිරීමට තීරණය කරන බදු ලැයිස්තුව බදාදා දිනයේදී එළි දැක්වීය.
චීනය සහ ඇමෙරිකාව අතර වෙළෙඳාමේදී ඇමෙරිකාවට අවාසි සහගත ලෙස ඇති වෙළෙඳ වෙනස ඩොලර් බිලියන 50ක් බවත්, එය ඇමෙරිකාවට දරාගත හැකි මට්ටමේ එක්ක නොවන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. මෙම මුදල චීනයට ගලා යෑම තම රටට දරාගත නොහැකි බවත්, එහෙයින් එය ආරක්ෂා කරගැනීම සඳහා මෙම බදු පැනවීම කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසූ ට්‍රම්ප් කියා සිටියේ, මෙය සාධාරණ නොවන වෙළෙඳාමක් බවයි. ඇමෙරිකානු ආර්ථිකයට සිදු වන හානිය අවම කර ගැනීමට මෙම තීරණය ගන්නා බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මේ සමගම ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම වෙළෙඳ සහකරුවා වන චීනයට පැන වූ මෙම බද්ද ගැන ඇතැම් ඇමෙරිකානුවෝ පවා විමතියට පත්වූහ. ඔවුන්ගේ අදහස වූයේ, මෙම ක්‍රියාවලිය නිසා අනිවාර්යයෙන්ම පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යන බවයි. එහෙත් ට්‍රම්ප්ගේ අදහස වූයේ ඇමෙරිකාවේ ඇති චීන සමාගම් හරහා භාණ්ඩ විකිණීමෙන් චීනය වැඩි ලාභයක් උපයා ගන්නා බවයි.
ට්‍රම්ප් මේ බදු අයකිරීම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ දිනට පසු දින එනම් ඊයේ (04දා) චීනය නිකුත් කළ බදු අයකරන ලැයිස්තුවට බොහෝ සෙයින් අයත් වූයේ ඇමෙරිකාවේ කුඩා නිෂ්පාදකයන් නිෂ්පාදනය කරන භාණ්ඩය. එදිනෙදා චීනයට අවශ්‍ය වන එහෙත් චීනයේ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ කිහිපයක්ම මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. පිටු 58කින් සමන්විත භාණ්ඩ ලැයිස්තුව දෙස ඇමෙරිකාව යම් ආකාරයක අවඥාවෙන් කතා කළද, මෙම භාණ්ඩ ලැයිස්තුව දෙස බලන විට පෙනී යන්නේ චීනය ඇමෙරිකාවට රිද්දන්නට අවශ්‍ය තැනටම රිදෙන්න පහර දෙන බවයි. මෙම තත්ත්වය දෙස බලන විට ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් ආරම්භ වීමට ඉඩ ඇති බවයි. එහෙත් ඇමෙරිකාව දන්නා කාරණය වන්නේ චීනය විසින් බදු අය කිරීමට තීරණය කර ඇති භාණ්ඩ නිසා තමන්ගේ කුඩා ව්‍යාපාරිකයන්ට සිදුවන හානිය සුළු පටු නොවන බවයි. මේ හරහා ඇමෙරිකාව තුළින්ම ට්‍රම්ප් රජයට ප්‍රතික්‍රියාවක් ඇතිවන බවයි. මෙම ප්‍රතික්‍රියාවට මුහුණ දීමට ඇමෙරිකාවට එතරම් ලෙහෙසි නොවේ.
අනෙක් අතින් ඇමෙරිකාව තහනම් කළ භාණ්ඩ ලැයිස්තුව බොහෝ දුරට ඉලෙක්ට්‍රොනික වෙළෙඳාමට සම්බන්ධ භාණ්ඩ වෙයි. ඇමෙරිකාව උත්සාහ කරන්නේ දකුණු කොරියාව සහ වියට්නාමය හරහා මෙම භාණ්ඩ අඩු මිලට ලබා ගැනීමටය. එහෙත් ඔවුන් නොදන්නා කාරණය වන්නේ වියට්නාමය චීනයේ ඉතා සමීප වෙළෙඳ සහකරුවෙකු බවයි. ඒ හරහා වියට්නාමයට අවශ්‍ය නම් පීඩනයක් යෙදීමටද චීනයට හැකියාව තිබේ. මෙම තත්ත්වය මත ඇමෙරිකාව කරන්නේ තමන්ගේ පාඩුව වැඩිකර ගැනීමක් මිස අඩු කර ගැනීමක් නොවේ. පසුගිය මාර්තු මාසයේදී මෙම වෙළෙඳ යුද්ධය ආරම්භ කිරීමේ සැලසුම් සකස් කරමින් සිටි ඇමෙරිකානු ජනාධිපතිවරයා තමන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් කළේ, මේ වෙළෙඳ යුද්ධය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි. එයට චීනය වඩාත් සූක්ෂම සහ උපායශීලී ප්‍රතිචාරයක් දැක්වීය. මෙහිදී ලෝක වෙළෙඳ සංවිධානය දැක්වූයේ වෙනත් අදහසකි. ඔවුන්ගේ අදහස වූයේ වෙළෙඳ යුද්දයක් යනු ලෝකයට අවශ්‍ය තත්ත්වයක් නොවන බවයි. ඒ අනුව ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ වෙළෙඳ යුද්ධයක් සම්බන්ධයෙන් කිසිවෙකු කැමැත්තක් නොමැති බවයි.
චීනය හොඳින්ම දන්නා දෙය නම්, තමන්ගේ වෙෙළඳාමේ ප්‍රධාන සහකරුවා ඇමෙරිකාව වුවත්, තමන් ඇමෙරිකාව මත නොරැඳෙන බවයි. චීනය %එක් මාවතක් එක් තීරයක්^ ඔස්සේ ලෝකයේ සෑම රටක් සමගම වෙළෙඳ ගනුදෙනු තරකර ගන්නේ ඇමෙරිකාව වැනි ප්‍රබලයන් තමන්ගේ ආර්ථිකය හසුරුවන්නට උත්සාහ ගන්නා මෙවැනි අවස්ථාවලදී අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වීමටය. ඇමෙරිකාව කෙතරම් බදු අය කළද, තමන්ට අලුත් වෙළෙඳ පොළ සොයා ගැනීමේ නොහැකියාවක් චීනයට නැත. එහෙත් ඇමෙරිකාවට එසේ නොවේ. චීනයේ වෙළෙඳ පොළ වෙත නොපිවිස ලෝකයේ ප්‍රබල ආර්ථිකයන් දෙකෙන් එකක් වීමේ අවස්ථාව ඇමෙරිකාවට නොලැබේ. ඔවුන් මේ අහිමි කර ගන්නට හදන්නේ තමන්ගේ රටට මුදල් ගලා එන ප්‍රධාන මාර්ගයකි. ඒ අනුව ලබන මැයි මාසය දක්වා මෙම බදු අයකර ගැනීම ගැන සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයේම කැමැත්ත පළවී තිබේ. කෙසේ වුවද, මෙම තෝරු මෝරුන්ගේ සටන නිසා හාල්මැස්සන් වැනි අප වඩාත් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු වෙයි. මේ පාර්ශ්ව දෙක සම්බන්ධයෙන්ම ඉක්මන් තීරණ ගැනීමට ශ්‍රී ලංකාව වැනි රටවල් උත්සාහ නොකළ යුතුය. හේතුව ඩොලර් බිලියනයක් යනු චීනයට සහ ඇමෙරිකාවට සුළු දෙයක් වුවද, ශ්‍රී ලංකාවට එය මහා විශාල මුදලක් බැවිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

