ලෝකය වේගයෙන් වෙනස් වෙමින් යුගයෙන් යුගය පසුකර යද්දී ශ්‍රී ලංකාව පසුගිය දශක ගණනාව පුරාම එක තැන හිර වෙමින් පල් වෙමින් තිබුණි. ලෝකයේ බොහෝ රාජ්‍යවලදී ආණ්ඩුව තවදුරටත් වැදගත් ආයතනයක් නොවන අතර, එම රාජ්‍යයන්ගේ පැවැත්ම ශක්තිමත්, ස්වාධීන, සීලාචාර ආයතන විසින් මෙහෙයවනු ලබයි. මෙහිදී එවැනි රාජ්‍යයන්ගේ පැවැත්මට අභියෝග කරනු ලබන ඕනෑම ප්රපංචයකට එරෙහිව කටයුතු කිරීමට එම රාජ්‍යයන්ගේ වාසය කරන ජනතාවට අවශ්‍ය ප්‍රතිපාදන හා ආරක්ෂාව නීති පද්ධතිය මගින් ලබා දී තිබේ. උදාහරණයකට දියුණු ලෝකයේ නවසීලන්තය හෝ උතුරු යුරෝපියානු රටවල් හෝ ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය වැනි රටවල්ද ගත හැකිය. නමුත් ලංකාව හා එහි වාසය කරන ජනතාව නීති හා ආයතන මගින් රට පාලනය කිරීම පිළිබඳ එතරම් විශ්වාසයක් නොමැත්තේය. නිදහසින් පසු ගෙවී ගිය වසර 70ටත් වඩා වැඩි කාලයක් මෙරට ජනතාව විශ්වාස කරනු ලැබුවේ කවුරුන් හෝ විශ්වකර්ම නායකයෙකු පහළ වී රටත්, ජනතාවත් මුහුණ දෙන සකලවිද ව්‍යාදීන්ගෙන් ගලවා ගනු ඇත යන්නයි.
මේ මිත්‍යාවේ ගිලුණු ලාංකික ඡන්දදායකයා එකනායකයෙකුට පසු තව එකෙකු වශයෙන් වසර 70ක්ම විවිධ නායකයන් අත්හදා බැලූ අතර, ඒ සියල්ලෝම එකම ආකාරයේ වට්ටෝරු නායකයෝ හෝ නායිකාවෝ විය. මේ වට්ටෝරු නායකයන්ගෙන් රට කෙසේවෙතත් ඔවුන්ගේ පක්ෂවල උදවිය, නෑදෑ පිරිවරනම් ගොඩ ගියේය. බයිසිකලයක්වත් නැතිව දේශපාලනයට පැමිණි හෝ එයට සම්බන්ධ වූවෝ විශාල ධනපතියන් විය. මෙරට ධනපති පන්තියේ විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවීම ආරම්භ වූ වසර වන්නේ 1956 වසරයි. 1956 ඇරඹි ඒ ගමන අද වන විට මෙරට ධනය හිමි පන්තිය මුළුමනින්ම පාහේ දේශපාලන බලය හිමි පන්තිය බවට පත් වී තිබේ. ඒ ධනයට පසු බලය ලබා ගැනීම ලෙස නොව බලය ලබාගත් පසු ඒ මත පදනම්ව ධනවත් වීමෙනි.
මේ සඳහා අපූරු උදාහරණයක් මා සතුව තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිගුකාලීන ශරීර ආරක්ෂකයෙකු මෙන්ම ඔහුගේ අසල්වැසියෙකු සම්බන්ධයෙනි. මහින්ද අගමැති ධුරයට පත්වෙද්දී සාමාන්‍ය සෙබළෙකු ලෙස යුද හමුදාවේ සිටි ඔහු මහින්දගේ ශරීර ආරක්ෂකයෙකු ලෙස අගමැති ආරක්ෂක අංශයටත්, ඉන්පසු ජනාධිපති ආරක්ෂක අංශයටත් අනුයුක්ත කර ඉතාම කෙටි කාලයක් තුළ මහා ධනපතියෙකු බවට පත්වේ. දැනට ලංකාවේ අධිකරණ ගණනාවක ඔහුට එරෙහිව අයථා දේපළ උපයාගැනීම් පිළිබඳ නඩු ගණනාවක් විභාග වේ. ඒ අක්කර ගණනාවක ඉඩම්, බස් රථ, ඉන්ධන පිරවුම්හල් වැනි දෑය.
ඔහුගේ හා ජනාධිපති මහින්දගේ ළඟ සම්බන්ධය පෙන්වන එක සිදුවීමක උදාහරණයක් දේශපාලන ලෝකයේ පවතී. එනම් සාමාන්‍ය සොල්දාදුවෙකු වූ ඔහුගේ පෙරැත්තය මත මහින්ද ගැසට් නිවේදනයක් මගින් මේජර්වරයෙකු බවට පත්කරයි. ඊට පසුදින උදෑසන අරලියගහ මන්දිරයේ උදෑසන තේ මේසයට කිරිබත් ගෙන්වා මහින්ද හා අදාළ කණ්ඩායම කිරිබත් කමින් මේජර් තනතුර ලැබීම සමරන අතර පැවසුවේ මූට ගිය කල යකෝ කියාය.
ඒ වට්ටෝරු නායකයෙකු වූ මහින්ද රාජපක්ෂගේ පාලනයේ ධනපතියන් බිහිවූ හැටිය. මෙවන් තත්ත්වයක් පවතින ශ්‍රී ලාංකික සමාජය තුළ රනිල් වැනි නායකයෙකුට පැවතිය හැකි තත්ත්වයන්ගේ විශාල සීමාකම් පවතින බව මාගේ හැඟීමයි. රනිල් වටා සිටින කිසිවෙකුත් අයුතු ලෙස ධනවතුන් වී නොමැත්තේය. යම් අවස්ථාවල පක්ෂය තුළින් මතුව එන විරෝධතාවලට හේතුවක් වන්නේද එයමය. වට්ටෝරු දේශපාලනයෙන් මිදී රටේ නියාමන ආයතන ශක්තිමත් කොට, ආණ්ඩුව වෙනුවට රාජ්‍යය ශක්තිමත් කළ යුතු යැයි තදින් අදහන රනිල් වැනි නායකයෙකුට අවස්ථාවක් නොදී හැකි ඉක්මනින් ඉවත් කිරීම රට මංකොල්ල කෑමට බලා සිටින සියලුම ප්රතිගාමී බලවේගවල ප්‍රාර්ථනයයි. රනිල් නැති එක්සත් ජාතික පක්ෂය කැඩී සුනුවිසුනු වන බව සක්සුදක් සේ දන්නා සතුරු බලවේග මෙන්ම රට නරකාදියට හෙළීමට කල් යල් බලන ඒ මත තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට පෙරුම් පුරන බලවේගද කල්පනා කරනුයේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් පරාජයකොට රටටත්, එහි ජනතාවටත් ඇති ආරක්ෂාව අවසන් කළ යුතු බවයි. එමගින් මෙම වට්ටෝරු නායකයන්ගේ පැවැත්ම නැවත තහවුරු වනු ඇතැයි ඔවුන්ගේ බලපොරොත්තුවයි. එය පරාජය කිරීම එක්සත් ජාතික පක්ෂයට ඇති එකම විසඳුම වේ.
රනිල්ට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කළ අයගේ ප්‍රධාන අරමුණ වන්නේ හැකිතාක් රටේ කටයුතු අවුල්කොට රට අස්ථාවර කිරීමයි. එමගින් රටේ එදිනෙදා
කටයුතු වලට බාධා පමුණුවා නැගී එමින් පවතින ආර්ථික තත්ත්වය කඩාකප්පල් කිරීමයි. දිනන්නට නොහැකි බව දැන දැනම එය ඉදිරිපත් කිරීම මගින් ඔවුන් ආණ්ඩුවට එල්ල කරනු ලබන්නේ දේශපාලන ප්රහාරයකටත් වඩා ආර්ථික ප්‍රහාරයක් යනු මගේ හැඟීමයි. මේ මොහොතේ රනිල්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට සතුරු පිලෙහි සියල්ලෝම එකාවන්ව සැදී පැහැදී සිටියදී එයින් විශාලම හානිය සිදුවන්නේ පක්ෂයට බව පාක්ෂිකයන් අවබෝධ කොට ගතයුතු වේ. කෙතරම් ප්‍රහාර එල්ල වුවද අගමැතිවරයා සෙමෙන් නමුත් ස්ථිරසාරව ඉදිරියට ගමන් කරයි.