මහනුවර මැදවල ඓතිහාසික රාජමහා විහාරයේ පුස්තකාලය බිඳ ඉපැරණි පුස්කොළ පොත් රැසක් සොරුන් රැගෙන ගිය බවට වූ අනුවේදනීය පුවතක් පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මෙය තවත් එක් සොරකමක් වශයෙන් සැලකිය නොහැක්කේ මෙම පොත්වල ගබඩා වී ඇති දැනුම ඇතැම් විට මානව වර්ගයාට සදහටම නැති වී යෑමට ඉඩ ඇති බැවිනි.
විවිධ ශිෂ්ටාචාර ඇසුරේ විවිධ දැනුම් පද්ධති නිෂ්පාදනය වෙයි. ශ්‍රී ලංකාවේ මතු නොව ලොව පුරා සෑම රටකම පාහේ මේ වන විට අධිපති දැනුම් පද්ධතියට පත්ව ඇත්තේ බටහිර දැනුමය. එහෙත් ලෝකයේ එතෙක් මෙතෙක් පැවැති එකම දැනුම බටහිර දැනුම පමණක් නොවේ. විවිධ ශිෂ්ටාචාරයන් ඇසුරින් ඒවාටම අනන්‍ය වූද, සුවිශේෂ වූද දැනුම් පද්ධති නිර්මාණය වී තිබේ. එනම්, බටහිර දැනුමට ප්රතිපක්ෂව බිහි වූ දේශීය දැනුම ගබඩා වී ඇත්තේ මෙම පුස්කොළ පොත් ආදියේය.
තාල වර්ගයට අයත් ශාක පත්‍රවල ලේඛන රචනා කිරීම ඉන්දියානු උපමහද්වීපය තුළත්, දකුණු සහ අග්නිදිග ආසියාවේ ඇතැම් රටවල් රැසකත් සියවස් ගණනාවක් මුළුල්ලේ පැවැති ක්රමවේදයකි.
ශ්‍රී ලංකාවේ ඉපැරණි පුස්කොළ පොත්වල ආගමික කරුණු, සාහිත්‍ය, වෛද්‍ය විද්‍යාව, ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව, සමාජීය හා සංස්කෘතික කරුණු, විවිධ කර්මාන්ත ආදී නොයෙකුත් දේ පිළිබඳ තොරතුරු අන්තර්ගත වේ. ඉන්දියාව ආදී රටවලද පුස්කොළ පොත් මත විද්‍යාව, දර්ශනය, කලාව පිළිබඳ න්‍යායික මෙන්ම ප්‍රායෝගික වශයෙන් වැදගත් කරුණු රාශියක් අන්තර්ගත කර ඇත.
මෙම ලේඛන සංස්කෘතිය සහ බුද්ධිමය සංස්කෘතිය ඉන්දියාව, ශ්‍රී ලංකාව ආදී රටවල් සැබෑ ශිෂ්ටාචාර බවට පත් කළේය. ඊට හේතුව නම්, සාක්ෂරතාව කිසියම් ශිෂ්ටාචාරයක් බිහි වීමේ මූලික කොන්දේසියක් වන බැවිනි. ලිඛිත සංස්කෘතියක් ඔස්සේ දැනුම පරපුරින් පරපුරට රැගෙන ඒම මෙම රටවල් ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයකි.
ඉන්දියාව වැනි රටවල දැනුම වනපොත් කරමින් කට වචනයෙන් පමණක් පැවැත ආවේය^ යන මතය හැරී ෆෝක්, ඩබ්ලිව්. කර්ෆෙල් ආදී ශාස්ත්‍රඥයෝ ප්‍රශ්න කරති. විශේෂයෙන් ඍග්වේදය වැනි සංකීර්ණ ග්රන්ථ එසේ මුඛ පරම්පරාවෙන් පැමිණිය නොහැකි බව ඔවුන්ගේ තර්කයයි. ජොහැන්නස් බ්රොන්ක්හෝස්ට් වැනි විද්වතුන් පවා පවසන්නේ වේදයන් ඉතා මුල් යුගයේ පටන් ලේඛන වශයෙන් පුස්කොළ පොත් ලියැවී තිබූ බවයි.
ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල ඇති පුස්කොළ පොත් නිසි ලෙස සංරක්ෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ඉතා වැදගත් කරුණක් වන්නේ සාම්ප්‍රදායික දැනුම ප්‍රතිගවේෂණය කිරීම ලෝක ශාස්ත්‍රීය ධාරාව තුළ ඉස්මතු වෙමින් පවතින ප්‍රබල අංශයක් බැවිනි. විවිධ සමාජ ඇසුරෙහි මුල්බැස ගෙන තිබූ දැනුම ප්‍රතිගවේෂණය කරමින් අනාගත ලෝකයට ගැළපෙන වඩාත් තිරසාර දැනුම් පද්ධතියක් නිර්මාණය කිරීම උදෙසා ලෝකයේ ප්‍රකට විශ්වවිද්‍යාලවල පර්යේෂණ සිදු කෙරේ. ශ්‍රී ලංකාව සතු මෙම මහාර්ඝ පුස්කොළ පොත් සොරසතුරන් පැහැරගෙන යෑම පමණක් නොව කාවන් වැනි සතුන් විසින් කාදෑමීම, අව්වැසි ආදී කාලගුණික තත්ත්වයන් නිසා විනාශයට පත් වීම, අනිසි ගබඩා කිරීම් නිසා කැඩීබිඳී යෑම ආදී දුර්දශාවන්ට මුහුණ පා ඇති බව පෙනී යයි.