නැගිල්ලට අපි කවුරුත් කැමතිය. අප සෑම උත්සාහයක්ම දරන්නේ ඉහළ නැගිල්ලටය. නැගිල්ල ගැන කතා කරන විට මුලින්ම මතක් වන්නේ ගස් නැගිල්ලය. ගස් නගින්නේ වඳුරන්ය. ගස් නැගිල්ලට පුරුදු වී සිටින වඳුරන්ට බිමින් නම් ගමන් නැත්තේමය. හැට පිරුණත් වඳුරාට බිම ගමන් නැහැ යැයි කියන්නේ මහලු වුණත් ගස් නැගිල්ලට ඔවුන් රුසියන් නිසාය.
වඳුරන් පමණක් නොව මිනිසුන්ද ගස් නැගිල්ලට පුරුදු වී සිටිනවාය. ගස් නැගිල්ල අද හොඳ ආදායම් ලබන රස්සාවක් වෙලාය. අද වන විට පොල් ගස් නගින්නා ගසකට නගින්නට රුපියල් එකසිය තිහක් අය කරනවාය. පොල් ගණන් ගියාට පස්සේ පොල් ගස් නගින්නන්ද නැගිල්ල ඉහළ නැග්ගුවේය. ගස් නැගිල්ල අද පහත් රැකියාවක් යැයි නොකියන්නේ ගසේ ඉහළටම නගින රැකියාවකට වඩා ගස් නැගිල්ලට ලොකු මුදලක් අයකරන හින්දාය.
ගෙඩි කඩන්නට පමණක් නොව මල් තළන්නටද පොල් ගස් නගිනවාය. එක ගසකට නැග්ග මිනිහා ආපසු වෙනත් ගසකින් බහින්නේ සෑම ගසකම මල් තැළිල්ලෙන් පසුවය. මෙලෙස ගස් නැගිල්ලෙන් පසු ගසින් ගසට යනවාට කියන්නේ අතුරේ යනවා කියලාය.
ගසට නැග්ග කෙනාට බසින්න පුළුවන් නමුත් බළලා ගස් නැගිල්ලට මිස බැසිල්ලට දන්නේ නැත්තේය. ඒ නිසා ගස් නැග්ග බළලාට ගසෙන් බිමට පනින්නට සිද්ධ වෙනවාය. එයට හේතුව ඌට ගස් නැගිල්ලට ඉගැන්වූ ගුරුවරයා වන වළහා බිමට බසින්නට ඉගැන්නුවේ නැතිකමය.
වහලය දිරූ පසු අලුතෙන් පොල්අතු සෙවිලි කරන්නට වහළයට නගිනවාය. ඉස්සර ගම ගෙදර වහලයට නගින්න සෙනඟ සොයා ගන්නට අමාරු වූයේ නැත්තේය. එක හූවට වහලයට නගින්න එන්නට බොහෝ දෙනෙක් සූදානම්ය. එහෙත් අද නම් වාසනාවකට වගේ පොල්අතු වහලවල් නැති නිසා වහලයට නගින්න උවමනා නැත්තේය. ඒත් වහලයට නගින හොරාට ගෙය තුළට බහින්න පුළුවන්ය. වහලයෙන් බැහැලා ගේ සුද්ද කරන හොරා ආපහු වහලයට නගින්නේ නැතුව දොර ඇරගෙන එළියට එනවාය.
පාසලේදී බංකුව උඩට නගින්න සිදුවන්නේ වැඩ බැරි සිසුන්ටය. ඉස්සර බංකුව උඩ නැගිල්ල දඬුවම් දුන් ක්රමයක්ය. අද නම් සිසුන් බංකුවට නගින්නේ නැති වුණත් ප්රින්සිපල්ගේ මේසය උඩට නගින්න දස්සය. කොහේ නොනැග්ගත් අනුන්ගේ කරේ නැගිල්ලට දස්ස අය ඉන්නවාය. යන්තම් ලීලේ දුන් විට කරේ නගින්නට සමහරුන් පුරුදුවෙලාය. කරේ නැගිල්ලට වැඩිය පිටේ නැගිල්ල නරකය. පොහොසතා සල්ලි හොයන්නේ දුප්පතාගේ පිටේ නැගිල්ලෙන් යැයි කියනවාය. අශ්වයාගේ පිටේ නගින්නේ අශ්ව රේස්වලදීය. රේස් නැති වුණත් අශ්වයන්ගේ පිටේ නැගලා විනෝදයට යන අයද ඉන්නවාය.
ඉස්සර යුද්ධවලදී යන්නේ ඇතුන්ගේ සහ අශ්වයන්ගේ පිටේ නැගලාය. ඇතාගේ පිටේ නැගලා ගිහිං මුහුණටමුහුණ සටන් කරලා ජය ගන්නවාය. පැරදුණු රජු නැගලා ගිය හස්තියාගේ පිටෙන් වැටෙන්නේ යුද්ධය පමණක් නොව ජීවිතයම පැරදිලාය. අද නම් අලියාගේ පිටේ නගින්නේ ඇත්ගොවුවාය. පෙරහරවලට යන අලියාගේ පිටේ නගින්නේ ධාතු කරඬුව වඩම්මන්නටය. පෙරහරේ යන හස්තීන් හොඳහැටි සරසන්නේ පිටේ නගින්නට සූදානම් කරන්නටය. කොට අදින අලින් එහෙම සරසන්නේ නැත්තේ උගේ පිටේ නගින්න කෙනෙක් නැති හින්දාය.
කඳු නැගිල්ල ක්රීඩාවක් ලෙස සලකනවාය. හිමාලය එවරස්ට් වැනි කඳුවලට නැගිල්ල වීරත්වය ප්රදර්ශනය කිරීමක්ය. සිරිපාද කන්ද නගින්නේ සිරිපාදය වඳින්නටය. එහෙම සමනල කන්ද නගිනවාට කියන්නේ සිරීපාදය කරුණා කරනවා කියලාය. කොටා මුලින්ම සිරීපාදේ නැග්ගේ සුරංගනාවියන්ගෙන් පාර අසාගෙන යැයි කියනවාය. ඒත් අද නම් සුරංගනාවියන් සමග සිරීපාදේ නගින බොහොම දෙනා සිරිපාදය වඳින්න යනවාදැයි සැකය.
හොඳට ඉන්න අයගේ හිසට යක්ෂයා නගින වෙලාවක්ද තියෙනවාය. එහෙම යක්ෂයා නැග්ග බව දන්නේ ඒ අය හැසිරෙන හැටියෙන්ය. සමහර දෙනා යක්ෂයන් නොවුණත් අනුන්ගේ හිසට නගින්නට දස්සය. හිසට නගින්නට යන එකා මුලින්ම කරන්නේ කරට නැගිල්ලය. කරට කකුල තියලා හිසට නැගිල්ලට ඒ අය පුරුදුවෙලා ඉන්නවාය. ඊළඟට ඒ අයට නගින්නට උදව් කරපු අය අමතක වෙනවාය. උඩට නගින්නට උදවු වෙච්ච ඉණිමගට පයින් ගහන නරුමයන්ද ඉන්නවාය. ඒ අය හිතන්නේ උඩට නැග්ගාට පසු තමුන්ට කවදාවත් පහළට බහින්න ඕනෑ නැත කියලාය. ඒත් එහෙම පහළ බහින්නට ඕනෑ වුණොත් නැග්ග ඉණිමග සොයා ගන්න නැත්තේ එය බිම පෙරළලා තියෙන නිසාය.
ඉහළ නැගිල්ලට ඕනෑම දහජරා වැඩක් කරන්න දස්ස අය ඉන්නවාය. සමහරු ඉහළ තනතුරුවලට නගින්නට ඕනෑ වුණාම සුදුසුකම් තියෙන එකාට වළකපන්න හදනවාය. බොහෝ අය ඉහළට නගින්න උත්සාහ කරන්නේ එහෙම ඉහළ නැග්ග විට ඒ අයගේ වැටුපද, යානවාහන පහසුකම්ද ඉහළ නගින හින්දාය. එසේම වැටුප ඉහළ නග්ගා ගැනීමට වැඩවර්ජන කරන අයද ඉන්නවාය. හැමදාම බැහැ කිව්වත් එහෙම වැඩ නැවතුමක් සිදුකළොත් නම් වැටුප් ඉහළ නග්ගන්නට ආණ්ඩුව සූදානම්ය.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වැටුප් ඉහළ නැගිල්ල සිදුවන්නේ විනිසුරුවරුන්ගේ වැටුප් ඉහළ නැගිල්ලට සමානුපාතිව යැයි කියනවාය. ඒ හින්දා ආණ්ඩුව කරන්නේ මන්ත්රී වැටුප ඉහළ නග්ගන්න ඕනෑ වූ විට විනිසුරුවරුන්ගේ වැටුප ඉහළ නැග්ගිල්ලය. පඩිවලින් ඉහළ නැගිල්ල තරමක් අපහසු වුණත් කරදරයක් වන්නේ නැත්තේය. ඒ වුණාට ලිෆ්ට් එකෙන් ඉහළ නගින්න යන අය කරන්ට් එක නැතුව ඒ තුළ හිරවෙලා සිටිනවාය.
උණ නැගිල්ල කියන්නේ අසනීපයක්ය. උණකටුවේ රසදිය මට්ටම ඉහළ නගින්නේ ඇඟේ උණ ඉහළ නගින කොටය. සරුංගලය ඉහළ නගින්නේ හොඳට සුළං තියෙන විටය. ඕනෑවට වඩා සුළං තියෙන විට සරුංගලය ඉහළ නංවන්න හැදුවොත් සිදුවන්නනේ නූල කඩාගෙන ඉහළ නගින්නටය. ඕනෑවට වැඩිය ඉහළ නගින්න යන අයට සිද්ධ වෙන්නේ සරුංගලය වගේ නූල කඩාගෙන නන්නත්තාර වෙන්නටය.
වේදිකා මතට නගින්නේ කථිකයන්ය. සමහර දේශපාලුවන් වේදිකා මතට නැගලා දෙන පොරොන්දු ජයගත්තාට පසු අමතක වෙනවාය. ඡන්ද දාසලා අද බොහොම දුක්විඳින්නේ බඩු මිලඉහළ නැගිල්ලෙන්ය. බඩුමිල ඉහළ නගින්නේ ලෝක වෙළෙඳ පොළ හින්දා මිස අපේ දේශපාලුවන්ගේ වරදින් නොවේය.