ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි එකම බලපත්‍රලාභී ක්‍රියාකරු වන කොළඹ කොටස් හුවමාරුව සිය ගමන් මගෙහි ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා සිය 35 වැනි සංවත්සරය සනිටුහන් කරනු ලැබීය.
ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වයේ ජීවගුණය රඳවා පවත්වා ගනිමින් වර්තමාන කොළඹ කොටස් හුවමාරුව වගකීම් දරන කොටස් ගනුදෙනු කිරීමේ ඉතිහාසය ශතවර්ෂය ඉක්මවයි. ශ්‍රී ලංකාවේ වැවිලි වගාවන්ට අවශ්‍ය කරන ප්රාග්ධනය සම්පාදනය කරගැනීම උදෙසා 1896 දී ඇරඹුණු කොටස් ගනුදෙනුවීම වර්තමානයේ වසරකට රු.බිලියන 300 ඉක්මවන ප්‍රාග්ධන ප්රවාහයකට හිමිකම් කියයි.
ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්රයේ ස්වභාවය කැපී පෙනෙන පරිවර්තනීය වෙනසකට ලක් කරමින් ඇපයෙන් සීමිත සමාගමක් ලෙස කොටස් තැරව්කාර ආයතන 07ක මූලිකත්වයෙන් කොළඹ සුරැකුම්පත් හුවමාරුව 1985 වර්ෂයේදී ස්ථාපනය කෙරිණි.