සේවක අර්ථසාධක අරමුදල (EPF) මගින් රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළව සිදුකර තිබූ ගනුදෙනු සම්බන්ධව සිදුකරන ලද පරීක්ෂණයෙන් අනාවරණය වූ කරුණු අනුව යම් වරදක් සිදුව ඇත්නම් අදාළ කවර හෝ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නිවේදනය සිදුකරන්නේ සේවක අර්ථසාධක අරමුදල විසින් රාජ්‍ය සුරැකුම්පත්වල සිදුකර ඇති ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ වාර්තාවට අදාළව පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. එම නිවේදනය මෙසේය.
"මෑතකදී පැවැත්වුණු මුදල් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍ය වාර්තා කිහිපයක පළ කර තිබූ සාවද්‍ය කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරය මෙසේ පැහැදිලි කර සිටී.
සේවක අර්ථසාධක අරමුදල මගින් රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළව සිදුකර තිබූ ගනුදෙනු සම්බන්ධව සිදුකරන ලද පරීක්ෂණයෙන් අනාවරණය වූ කරුණු අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම තීරණය කිරීම සඳහා මුදල් මණ්ඩලය විසින් එම පරීක්ෂණ වාර්තාව සාකච්ඡාවට ලක් කරන ලදී. යම් වරදක් සිදුකර ඇති බවට සාක්ෂි මගින් පෙනී යන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර කාර්යය පටිපාටීන්ට අනුකූලව අදාළ කවර හෝ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කිරීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී."