නව දේශපාලන වෙනස්කම හමුවේ ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳ ගැනීමට සූදානම් බව ලොව රටවල් රැසක නියෝජිතයෝ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමග ප්‍රකාශ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට ලොව ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් රැසක් ඉදිරිපත්ව සිටින බවද මුදල් අමාත්‍යාංශය කියයි. මෙම කරුණු අනාවරණ වී තිබුණේ පසුගිය අප්‍රේල් 13 සිට 17 වැනිදා දක්වා ඇමෙරිකාවේ, වොෂිංටන් නුවරදී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුව (වසන්ත සෘතුවේ රැස්වීම) අතරතුර පැවැති සාකච්ඡාවලදී ය. ලෝකයේ රටවල් 189ක් නියෝජනය කරමින් මුදල් අමාත්‍යවරු මෙම සමුළුව සඳහා එක්ව සිටියහ.
ජාත්‍යන්තර ආර්ථිකය, මූල්‍ය සංවර්ධනය, ගෝලීය ආර්ථිකය මෙන්ම සරණාගත අර්බුදය වැනි මාතෘකා මෙහිදී සාකච්ඡාවට බඳුන්වී තිබුණි. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊට සහභාගී වී ඇති අතර, මෙම ප්‍රධාන සමුළුව අතරතුර හමු කිහිපයකටම ඔවුන් සහභාගී වී තිබේ.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපතිනී ඇනේට් ඩික්සන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාපීය විධායක අධ්යක්ෂවරුන් වන සුභාෂ් චන්ද්‍ර ග්රැග් සහ සුබීර් ගෝකාන්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ඇතුළු පිරිසක් සමගද මුදල් අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා තිබේ.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සුබවාදී අරමුණකින් ආර්ථිකයට සහාය දැක්වීම සඳහා කැමැත්ත පළකර තිබූ රාජතාන්ත්‍රිකයන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් සමගද අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා ඇත. නෝර්වීජියානු සහ ඉන්දියානු මුදල් අමත්‍යවරු ඒ අතර වූහ. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආයෝජකයන් පිරිසක් ද සමග ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සාකච්ඡා පැවැත්වූ බව මුදල් අමාත්‍යාංශය කියයි.