ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කිරීම නීතියට මෙන්ම නිසි ක්‍රියාමාර්ගයන්ටද අනුකූලව සිදුකරන ලද්දක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් මෙසේ අවධාරණය කරන්නේ, මහ බැංකුවේ වත්මන් අධිපතිවරයාගේ පත්වීම සහ 2015 පෙබරවාරි 04 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනලද මුදල් නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ ඇතැම් මාධ්‍යයන්හි පළ වූ චෝදනා පදනම් විරහිත බව පෙන්වා දෙමිනි.
මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමට පුද්ගලයෙකු නුසුදුසු විය හැකි ආකාරය මුදල් නීති පනතේ 11 වැනි වගන්තියේ පැහැදිලිව දක්වා ඇති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපතිවරයාගේ පත්වීම ඒ කිසිදු නුසුදුසුකමක් යටතට නොවැටෙන බවත් මහ බැංකුව කියයි.
එසේම, ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු වැනි අධිපතිවරයා වශයෙන් පත්වූ ඇමෙරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතාගේ සිට මේ දක්වා යම් පුද්ගලයෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කිරීමේදී ඔහුගේ පුරවැසිභාවය සහ ජාතිකත්වය සැලකිල්ලට භාජනය නොකරන ලද බවද මහ බැංකුව සඳහන් කර සිටියි.
තවද, වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ අත්සනින් යුතු මුදල් නෝට්ටුවල වලංගුභාවය පිළිබඳවද පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් නීති පනතේ 53(2) වගන්තිය අනුව, සෑම මුදල් නෝට්ටුවකම මුදල් පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාගේ සහ මහ බැංකුවේ අධිපතිවරයාගේ අත්සන්වල පිටපත් තිබිය යුතු බවත්, එම නෝට්ටුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කරන ලද්දක් බව සඳහන්ව තිබිය යුතු බවත් පෙන්වා දෙයි. එසේම එම පනතේ 52 වගන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් නිකුත් කරන ලද මුදල් නෝට්ටු ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගු බවද පවසා සිටියි.
මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යවරයාගේ සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරායගේ අත්සන්වලින් යුතුව නිකුත් කරන ලද 2015 පෙබරවාරි 04 දිනැති මුදල් නෝට්ටු ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදලක් ගෙවීම සඳහා නීතිමය වලංගුභාවය දරන බවත්, යටි අරමුණු ඇති පුද්ගලයන් විසින් මෙකී නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ මතු කරන පදනම් රහිත කාරණා මෙම නෝට්ටුවල වලංගුභාවය කෙරෙහි කිසිදු ආකාරයකින් බලපෑමක් ඇති නොකරන බවත් මහ බැංකුව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.