ශ්‍රී ලංකන් ගුවන් සමාගම යුරෝපය වෙත සෘජුවම මෙහෙයුම් සිදුකරන ප්‍රමුඛයා වශයෙන් එම කලාපය වෙත පියාසර කරන ගුවන් මගීන් සඳහා අමතර බඩු බාහිරාදිය රැගෙන යාමට සහ ඒමට විශේෂ දිමනාවක් හඳුන්වාදී ඇති බව පවසයි.
මේ යටතේ ගුවන් මගීන්ට ගාස්තු රහිතව කි.ග්‍රෑම් 15ක අමතර බරක් රැගෙන යාමේ අවස්ථාව උදාවනු ඇති බවත්, ඒ අනුව පිරිමැසුම් පන්තියේ මගීන් සඳහා රැගෙන යා හැකි සමස්ත බර ප්‍රමාණය කි.ග්‍රෑම් 45 වන අතර ව්‍යාපාරික පන්තියේ මගීන් සඳහා රැගෙන යා හැකි බර ප්‍රමාණය කි.ග්‍රෑම් 55 දක්වා වැඩිවනු ඇති බවත් පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාලදිවයින සහ ශ්‍රී ලංකා කලාපීය කළමණාකරු සමින්ද පෙරේරා මහතා සඳහන් කළේ ගුවන් මගීන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් පවුලේ හිතවතුන් දැකබලා ගැනීම සඳහා සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යුරෝපය වෙත සංචාරය කරන සිසුන්ට අවශ්‍ය බොහෝ දෑ රැගෙන යාමට මෙම වැඩිපුර ගමන් මලු වාසිය තුළින් අවස්ථාව උදා වන බවයි.