ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතීඥ නිමල් බෝපගේ මහතා පසුගිය 4දා කොළඹ, නාරාහේන්පිට 'නිපුණතා පියසේ' පිහිටි එම අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කර තිබේ.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මෙම ආයතනය සඳහා නව රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නිර්දේශ මත උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙකු වන බෝපගේ මහතා, කළමනාකරණය, ගණකාධිකරණය හා පරිපාලනය පිළිබඳ පශ්චාත් අධ්‍යාපනයද සම්පූර්ණ කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වූ ඒ මහතා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස සේවය කර තිබේ. දේශපාලන හේතු මත ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම පරිපාලන සේවා නිලධාරියාද ඒ මහාතය.
ඒ මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රියාකාරී අධ්යක්ෂ, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ උප සභෘපති, ජාතික මානව සම්පත් සංවර්ධන සභාවේ සභාපති ආදී තනතුරු හොබවා තිබේ.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය ඇතුළු ඒ මහතාගේ බිරිඳ, පුතණුවන් සහ අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.