2015 ජනවාරි පළමු වැනිදා 11% ක පැවති වැට් බද්ද වත්මන් රජය 15% කට ගෙනාවේ මුළුමනින්ම පැවති රජය ගත් ණය ගෙවීමට බවත්, ඒ හැර වෙනත් විකල්පයක් නොමැති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සඳහා සංවිධානය වූ උත්සවයක් අමතමිනි. එහිදී, මාධ්‍යයට අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,
“නාමල්, යෝෂිත, ගෝඨාභය, බැසිල් හවුල රටට මොනවද කළේ කියල අද රටම දන්නවා. තව තව දේවල් ඉදිරියේ දී හෙළිදරව් වේවි. අද වැට් ගැන කතා කරනවා. එදා 2006 මහින්ද රාජපපක්ෂ යුගයේ වැට් එක 20% යි. ලබන අවුරුද්ද වෙනකොට වැට් එක අපි අඩු කරනවා. මේක තාවකාලිකව සිදුකළ දෙයක්. 2015 ජනවාරි පළමු වැනිදා 11% ක තිබුණු වැට් එක අපි 15% කට ගෙනාවා. ඒ අනුව, 4% කින් පමණයි, වැට් එක වැඩි වුණේ. මෙවැනි දෙයක් සිදුකළේ මුළුමණින්ම මහින්ද රාජපක්ෂ ගත් ණය ගෙවන්නයි. වෙන විකල්පයක් නෑ. හම්බන්තොට නැව් නැති වරාය තුළින් අද ආදායමක් නෑ. මත්තල ගුවන්තොටුපොළ අදායමක් නෑ. මේවා හදන්න ගත්ත ණය ගෙවන්නෙ මේ රටේ ජනතාව. ඇයි මේව ගැන කතා කරන්නෙ නැත්තෙ.” යැයි වැඩිදුරටත් පවසා සිටියේය.