ශ්‍රී ලාංකේය පර්යේෂකයන්ගේ සහ නව නිපැයුම්කරුවන්ගේ නවෝත්පාදන සඳහා වූ පේටන්ට් බලපත්‍ර ලියාපදිංචි කිරීම සඳහා මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, පේටන්ට් බලපත්‍ර ලබාදීම රටක ආර්ථික සංවර්ධනයට සෘජුව බලපාන බවත් උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගිය 17 වැනිදා පර්යේෂණ ආයතන ප්‍රධානීන් සහ විශ්වවිද්‍යාල ප්‍රධානීන් සමග උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
&වර්තමාන සංවර්ධිත රටවල තාක්ෂණික නවෝත්පාදනයන් හි නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ කරගන්නා ලද ප්‍රධාන මාධ්‍ය වූයේ පේටන්ට් බලපත්‍ර ලබාදීමයි. පේටන්ට් බලත්රයක් ලබාදීම යනු නව නිපැයුම් දිරිගැන් වීමට, ආර්ථික සංවර්ධනය උදෙසා නිෂ්පාදනය දායක කරගැනීමට සහ කෘෂිකර්මාන්තය හා සෞඛ්‍යය යන අංශයන් හි මානව සුබසාධනයේ ප්‍රගතිය සඳහා ලබාදෙන දිරිගැන්වීමයි.
අපේ අසල්වැසි කුඩා රාජ්‍යයන් සමග සැසඳීමේදී පවා (චීනය සහ ඉන්දියාව වැනි දැවැන්තයින්ට අමතරව) පේටන්ට් බලපත්‍ර ලියාපදිංචි කිරීම අතින් ශ්‍රී ලංකාවේ කිසියම් අඩුවක් පවතිනවා. ඒ නිසා මෙම තත්ත්වය වෙනස් කිරීම හදිසි අවශ්‍යතාවක් ලෙස හඳුනාගත යුතුයි. නව නිපැයුම්කරුවන් මූල්‍යමය අතින් ශක්තිමත් කමින් තමන්ට මෙන්ම රටටද එහි ප්රතිලාභ ලබාදීමට හැකිවන පරිදි ඔවුන්ගේ නවෝත්පාදන සඳහා පේටන්ට් බලපත්‍ර ලබාදීම උදෙසා අමාත්‍යාංශය හැකි සෑම පියවරක්ම ගන්නවා. සේවකයන්ගේ අඩුපාඩුව නිසා ප්‍රමාද වූ සහ අතපසු වූ පේටන්ට් ඉල්ලුම්පත් සලකා බැලීමට සහ අලුතින් පැමිණෙන ඉල්ලුම්පත් සලකා බැලීම පිණිස නව ක්‍රමවේදයක් සැකසීමට විශේෂඥන්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහයෝගය ඇතිව ලබාදීමටත් අදහස් කරනවා. ඒ ප්‍රමාදය යථාතත්ත්වයට පත්කිරීම සඳහා ඒ අනුව හැකිවනු ඇති.* යනුවෙන් විශ්වාසය පළ කළේය.
ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර ලබාගැනීමේදී වැයවන අති විශාල වියදම් දැරීමට අපහසු පර්යේෂකයන්ට ආධාර කිරීමට තෝරාගත් විශ්වවිද්‍යාල දෙකකට රු.මිලියන 10 බැගින් ලබාදීමට බලාපොරොත්තු වන බවද මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය. එසේම පේටන්ට් බලපත්‍ර ලබාගැනීමට බලාපොරොත්තු වන පර්යේෂකයන් සඳහා ආධාර කිරීම පිණිස තමන්ගේ වාර්ෂික අයවැයෙන් කොටසක් වෙන්කර ගන්නා ලෙසටද විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතනවලට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් පියසේන රණේපුර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය පී.එස්.එම්. ගුණරත්න, නැනෝ තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී එච්. ද එස්. විජේරත්න, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය සී.බී. දිසානායක, ලේකම් ආචාර්ය පී.එස්.බී. වදුරාගල, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති නිරෝෂන් පෙරේරා, නවීන තාක්ෂණය පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයේ කේ. එදිරිවීර, ජාතික විද්‍යා පදනමේ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සීතා අයි. වික්‍රමසිංහ, සභාපති ශ්රීමලී ප්‍රනාන්දු, ජාතික පර්යේෂණ කවුන්සිලයේ විධායක ලේකම් එන්.සී. රාජපක්ෂ මහත්මිය, සභාපති මහාචාර්ය එච්. ජේ. ද සිල්වා, ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ජී.ආර්. රණවක මහත්මිය සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරු, පීඨාධිපතිවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.