ඔක්තෝබර් 04 වැනිදාට යෙදුණු ලෝක සත්ත්ව දිනය සමරමින් නව සත්ත්ව සුබ සාධන කෙටුම්පත ක්‍රියාත්මක කරන ලෙස රජයට ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ මහජන අත්සන් 100,000ක් රැස්කිරීමේ වැඩසටහනක් ඔටාරා පදනම විසින් දියත් කරන ලදී.
1906 දී හඳුන්වාදුන් සතුන්ට එරෙහි කෲරත්වය වැළැක්වීමේ යල්පැන ගිය පනත වෙනුවට නව සත්ත්ව සුබ සාධන කෙටුම්පත හඳුන්වා දීමට බලාපොරොත්තු වන නමුත් පසුගිය වසර 09 ක් පුරා මෙම කෙටුම්පත නීතියක් බවට පත්වීම ප්‍රමාද වූ බව ඔටාරා පදනම පවසයි.
කෙටුම්පත් කරනලද නව නීතිය විමර්ශනයට ලක් කරමින් එය ක්‍රියාත්මක කරන්නැයි ඔටාරා පදනම කර තිබෙන අභියාචනය සඳහා www.otarafoundation.com/actnow යන වෙබ් ලින්ක් එක ඔස්සේ මේ පිළිබඳව සැලකිල්ලක් දක්වන පුරවැසියන්ට සිය අත්සන ලබාදීමෙන් ඒ වෙනුවෙන් සහයෝගය ලබාදිය හැකි බවද ඔවුන් කියයි. මීට අමතරව, මෙම අන්තර්ජාල ඉල්ලීම සඳහා www.twitter.com/otaradel සහ www.facebook.com/otaradel යන ට්විටර් සහ ෆේස්බුක් ගිණුම්වලින් ප්‍රවේශ විය හැකි බවද ඔවුන් කියයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම අභියාචනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට යොමුකර තිබෙන අතර දිනපතා සතුන්ට සිදුවන විවිධ වූ හිංසනයන් නතර කරමින් ඔවුන්ව ආරක්ෂා කිරීමට ශ්‍රී ලාංකිකයින් ලෙස අප විසින් ශක්තිමත් නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම අත්‍යවශ්‍ය වන බවත්, ඒ වෙනුවෙන් සංශෝධනය කරනලද නව සත්ත්ව සුභ සාධන කෙටුම්පත ඇගයීමට ලක්කර එය පාර්ලිමේන්තුවේ ඉතාමත් ඉක්මනින් සම්මත කර නීතියක් බවට පත්කරන ලෙසත් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔටාරා ගුණවර්ධන මහත්මිය සඳහන් කර සිටියේ, "මේ වනවිට වීදිවල සරන, අල්ලා සිරකරගෙන සිටින, නිවෙස්වල ඇතිකරන හෝ කැලෑවල ජීවත්වන අපගේ සතුන්ට මිනිසුන්ගෙන් බොහෝ කරදර එල්ල වෙමින් තිබෙනවා. ඔවුන් දිනපතා පහර කෑමට ලක්වීම, අපයෝජනයට ලක්වීම, ගල් මුගුරු සහ වෙඩි ප්රහාරයන්ට ලක්වීම, උගුල්වලට කොටුකර ගැනීම හෝ ඝාතනය කිරීම සිදුවෙනවා. මේ නිසා, මේවා නතර කිරීම සඳහා ශක්තිමත් නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය වන අතර මේ වනවිට තිබෙන සංශෝධිත සත්ත්ව ශුභ සාධන කෙටුම්පත මේ සඳහා ප්‍රමාණවත් වෙන්නේ නෑ.
ශ්‍රී ලංකාව සැලකෙන්නේ කරුණාවන්ත ජාතියක් ඇති රටක් ලෙසයි. මේ කෙටුම්පත නීතියක් බවට පත් කරමින් සතුන්ට කරුණාව දැක්වීමට අප තුළ තිබෙන කැපවීම පෙන්වීමට හොඳ අවස්ථාවක් තිබෙනවා. මෙය ක්‍රියාත්මක කිරීම තුළින් ඉදිරි පරම්පරාව වෙනුවෙන් සතුන්ගේ ජීවිතවල යහපත් වෙනසක් ඇතිකළ වර්තමාන පරම්පරාව බවට අපට පත්වීමට අවස්ථාව පවතිනවා" යනුවෙනි.
මෙම අන්තර්ජාල අභියාචනය සමග එහි සිංහල පරිවර්තනයට සහ කෙටුම්පත් කරනලද සත්ත්ව සුබ සාධන කෙටුම්පතට මෙන්ම එහි ඉතිහාසය දැක්වෙන ලියවිල්ලකට යෑමට අවශ්‍ය වන වෙබ් ලින්ක් සපයා ඇති බවද ඔටාරා පදනම පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම නව කෙටුම්පත 2006 වසරේදී එවක සිටි ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි. 2010 වසරේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මෙම පනත් කෙටුම්පත පෞද්ගලික පනත් කෙටුම් පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. කෙසේ වෙතත්, එම වසරේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මෙම කෙටුම්පත මග හැරී ගියේය. පසුව මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානය ලබාගැනීමට කිහිප වරක්ම උත්සාහ කළත් එයද ව්‍යර්ථ විය. අවසානයේදී මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමුකරනු ලැබුවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ක්‍රියාත්මක වූ ’දින 100 වැඩසටහන’ යටතේ එවක සමාජ සේවා, සුබ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වූ පී. හැරිසන් මහතා විසින් 2015 මාර්තු මාසයේදීය.
දැනුම්වත් කිරීම, යහපාලනය සහ ප්‍රතිපත්ති වෙනස් කිරීම මගින් දේශගුණය වෙනස් වීමට එරෙහිවත්, සතුන් සහ පරිසරය සංරක්ෂණය කිරීමටත්, කටයුතු කරමින් ශ්‍රී ලංකාව සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශ තිරසාරාත්මක ලෙස වෙනස් කිරීමට, පරිවර්තනය කිරීමට, අනුබලයක් ලබාදෙන්නෙකු ලෙස කටයුතු කිරීම ඔටාරා පදනමේ පරමාර්ථය බව කියයි.