රජය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වැට් පනත මගින් දිනකට රු.138,000/- කට වඩා පිරිවැටුමක් සහිතව වෙළෙඳාම් කරන තොග හා සිල්ලර වෙළෙඳ සැල් වැට් බදු ගෙවීමට යටත් වන නමුදු ඔවුන්ගෙන් සැබෑ ලෙසම වැට් අයවනුයේ වැට්වලට අදාළ වන භාණ්ඩ අලෙවියෙන් ලැබෙන පිරිවැටුමට පමණක් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
වැට් පනත යටතේ 15% ක වැට් ගෙවිය යුතු වන්නේ සුවඳ විලවුන්, බිස්කට්, සබන් හා සකස් කරනලද ආහාර වැනි භාණ්ඩ සඳහා පමණක් වන අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් එදිනෙදා පරිභෝජනය කරන කිසිදු භාණ්ඩයකට වැට් බදු අදාළ නොවන අතර, එම භාණ්ඩ VAT වලින් නිදහස් කර ඇති බවද එම අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය යටතට එකතු කළ අගය මත බදු හෙවත් VAT බද්ද හඳුන්වා දෙනු ලැබුවේ 2002 වසරේදීය. එම මුල් අවස්ථාවේ වැට් බදු අනුපාතය 0%, 10%, 20% ක් යනුවෙන් පැවතුනු අතර, 2005 වසරේදී එම වැට් බදු ප්‍රතිශතය 5%, 15%, 18% වශයෙන් වැඩිකර තුන් ආකාරයකට අය කිරීම සිදුකළ බවත්, ඉන් පසුව එය 2006 වසරේදී 20% තනි අනුපාතයකට වැඩි කරන ලද බවත් අමාත්‍යාංශය කියයි.
එම කාලයේ බලයේ සිටි රජය විසින් 2007 දී එම බද්ද 15% දක්වා අඩු කරන ලද අතර, පසුව 2009 වනවිට එය 12% දක්වා අඩු කරනු ලැබූ බවත් සඳහන් කරයි. ආරම්භයේ සිට භාණ්ඩ හා සේවාවලට පමණක් සීමාකර තිබූ මෙම වැට් බද්දට එකල රජය විසින් 2013 වසරේදී තොග හා සිල්ලර වෙළඳාමද ප්‍රථම වතාවට යටත් කරනු ලැබූ බවද පෙන්වා දෙයි. ඒ අනුව, තොග හා සිල්ලර වෙළෙඳාම කරගෙන යන සුපිරි වෙළෙඳ සැල් ඉලක්ක කරගෙන දිනකට ලක්ෂ 28ක ආදායම් පරිමාව යටතේ 12% ක වැට් බදු නියම කර තිබුණි. එම පිරිවැටුම් පරිමාව 2014 වසරේදී දිනකට ලක්ෂ 14 දක්වා පහතට ගෙනඑන ලදී. එවන් සුපිරි වෙළෙඳ සැල්වලද වැට් ගෙවිය යුතු භාණ්ඩ පැවතියේ අලෙවිකරණ භාණ්ඩවලින් සීමිත ප්‍රමාණයක් පමණක් බවද අමාත්‍යාංශය කියයි.
යෝජිත නව වැට් බදු පනත මගින් දිනකට රු.138,000/- ක අලෙවියක් තිබෙන තොග හා සිල්ලර වෙළෙඳ සැල්වලින් 15% ක වැට් අය කරනු ලබනුයේ වැට් ගෙවිය යුතු භාණ්ඩ සඳහා පමණක් වන අතර, එසේ නොමැති පසුගිය රජය සමයේ කළ පරිදි VAT නිදහස් භාණ්ඩවලට VAT අයකරන ආකාරයට මුළු පිරිවැටුම සඳහාම තොග හා සිල්ලර වෙළෙඳාම මත VAT අය කරනු නොලබන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව, පසුගිය රජය කාලයේ 2013 වසර සිට තොග හා සිල්ලර වෙළෙඳාම වැට් ගෙවීමට යටත් කිරීමට අමතරව එම වෙළෙඳ සැල්වල අලෙවි කළ වැට් නිදහස් භාණ්ඩ අලෙවිය සඳහා කරනලද වැට් අයකිරීම මෙම නව පනත මගින් ඉවත් කරනු ලැබ තිබීම විශේෂත්වයක් බවද පෙන්වා දෙයි. තොග හා සිල්ලර වෙළෙඳාම සඳහා මෙතෙක් කාර්තුවකට තිබූ ආදායම් පරිමාව රු.මිලියන 100ක සිට නව පනත සමග රු.මිලියන 12.5ක් දක්වා අඩු කළද පසුගිය රජය කාලයේ අය කළ වැට් බදු අයකිරිමේ ක්‍රමවේදයේ ව්‍යාපාරිකයන්ට ඇතිවන බලපෑම මෙමගින් අඩුකර ඇති බවද මුදල් අමාත්‍යාංශය කියයි.
යෝජිත නව වැට් පනත මගින් කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩයකට බදු අය නොකරන බවත්, පෞද්ගලික රෝහල්වලින් සැපයෙන සෞඛ්‍යය සේවා රැසක්ද වැට්වලින් නිදහස් කර ඇති බවත් පවසයි. එනම්, බාහිර රෝගී සේවාව, රසායනාගාර සේවා සහ රුධිර කාන්දු විලන සේවා ආදියද වැට් බදුවලින් නිදහස් කර ඇති බවද පෙන්වා දෙයි.