2012 දී කිලෝග්‍රෑම් දස ලක්ෂ 328 වූ සමස්ත තේ නිපැයුම 2013 දී කිලෝග්‍රෑම් දස ලක්ෂ 339 දක්වා ඉතිහාසගත වාර්තාවක් තබා ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
රජය මගින් තේ නිපයුම ඇතුළු භෝග වගාවන්ට ලබාදෙන පොහොර සහනාධාර හේතුවෙන් මෙය සිදුවී ඇති බවත්, එමගින් රටට රු.බිලියන 1.6 ආදායමක් ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
“රටේ සමස්ත තේ වගාවෙන් 70% ක දායකත්වය කුඩා තේ වතු හිමියන්ට අයත් වෙනවා. මහින්ද චින්තන ඉදිරිදැක්ම යටතේ කුඩා තේ වතුවල තිරසාර සංවර්ධනය උදෙසා අනුග්රහයන් රැසක් ලැබී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලාංකීය තේ වලට ලොව පුරා ඉහළම ඉල්ලුමක් ලැබී තිබෙනවා. දැන් තේ කිලෝවක මිල රු.90/- කට ආසන්න මුදලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා” යැයි අමාත්‍යාවරයා කියා සිටියේය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කුඩා තේ වතු හිමියන් සවිබල ගන්වමින් වැවිලි ආර්ථිකයට නවෝදයක් ලබාදීම සඳහා කුඩා තේ ඉඩම්වල ජලය සහ පාංශු සංරක්ෂණය වෙනුවෙන් 2014 අයවැය මගින් ලබාදුන් අක්කරයට රු.5,000/- සහනාධාරය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනේ සමාරම්භය වෙනුවෙන් ජනවාරි 11 වැනිදා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ කොටපොල, මොරවක් කෝරළේ තේ නිපදවන්ගේ සමූපකාර සමිති ශාලාවේ පැවති රැස්වීමේදීය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පැවති මෙම රැස්වීමට මාතර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු සමිති 387ක් නියෝජනය කරමින් දෙදහසකට ආසන්න පිරිසක් සහභාගි වූහ.