කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය වසර කිහිපය තුළ යම් පසුබෑමක් පෙන්වූවද, නැවත වතාවක් ඉහළ නැගීම ආරම්භ කර තිබේ. විශේෂයෙන්ම මේ වසරේ අප්‍රේල් මාසයේ සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ලැබුණි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීමය. මෙම විදේශීය ආයෝජකයන්ගේ හැසිරීම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ අප්‍රේල් මාසයේ සිට මාස 3ක් ඇතුළත 10%කට වැඩි ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත. එහිදී, අගෝස්තු මාසයේ අග සහ සැප්තැම්බර් මාසයේදී කොටස් වෙළෙඳ පොළේ යම් ආකාරයක පසුබෑමක් දක්නට ලැබුණි.
සැප්තැම්බර් මාසයේ මැද වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වී තිබූ මුළු ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 28කි. ශුද්ධ විදේශීය ආයෝජනය යනු විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීම හා විකිණීම අතර වෙනසයි. සැප්තැම්බර් මැද වනවිට විදේශීය ආයෝජකයන් රු.බිලියන 81ක වටිනාකමකට කොටස් මිලදී ගෙන තිබූ අතර, ඔවුන් කොටස් විකුණා තිබුණේ රු.බිලියන 53ක වටිනාකමකට පමණි. ඒ අනුව, විදේශීය ආයෝජකයන් රු.බිලියන 28ක් ශුද්ධ වශයෙන් රට තුළට ගෙනවිත් තිබුණි. එය ඉතා ඉහළ අගයකි. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වසරකට වාර්තා වී තිබූ දෙවැනි ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය ලෙස මෙය සටහන් වෙයි.
විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීම් හදාරා බලනවිට පැහැදිලි වන්නේ ඔවුන් කාර්යක්ෂමතාව අතින් ඉහළ 'බ්ලූචිප්' සමාගම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. බොහෝවිට විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගැනීමේදී තමන් කොටස් මිලදී ගන්නා සමාගම් පිළිබඳව සමීක්ෂණ සිදුකරන අතර, ඉන් පසුව ආයෝජන තීරණ ගනු ලබයි. විදේශීය ආයෝජකයන් බොහෝවිට ආයෝජනය කරනු ලබන්නේ දුරදිග සිතා බැලීමෙන් පසුවය. ඔවුනට කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම සූදුවක් නොවන අතර, ඔවුන් එය පැහැදිලි ආයෝජනයක් ලෙසට යොදාගනී. අප්‍රේල් මාසයේ සිට ඇතිවූ ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඉතා ඉහළ කාර්යක්ෂමතාවක් සහිත සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යෑම බව මින් පෙනේ. ඒ අනුව, මෙම ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන් එම සමාගම්වල කොටස් මිලදී ගැනීම බව පැහැදිලිය.
සැප්තැම්බර් මස මැද භාගයේදී හේලීස් පී.එල්.සී. සමාගම විසින් සිංගර් ශ්‍රී ලංකා පී.එල්.සී. සමාගමේ කොටස්වලින් 61% ක් මිලදී ගැනීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වී තිබූ රු.බිලිනය 28ක ශුද්ධ විදේශීය ආයෝජනවලට යම් බලපෑමක් සිදුවිය. හේලීස් පී.එල්.සී. සමාගම විසින් මෙම කොටස් මිලදී ගැනීම සඳහා රු.බිලියන 10.9ක් වැය කළ අතර, එම කොටස් විකිණීම සිදුකරනු ලැබුවේ විදේශීය සමාගමක් විසිනි. කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය තුළ දුටු ඉතා විශාලතම ගනුදෙනුවක් ලෙස මෙය වාර්තා විය. මෙම ගනුදෙනුව හේතුවෙන් රු.බිලියන 28ක්ව තිබූ ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 17ක් දක්වා පහළ වැටුණි.
කොළඹ කොටස් වෙළෙඳ පොළේ මෙසේ විදේශීය ආයෝජන සක්‍රීයව පවතින විට වඩාත් කතාබහට පත්වූ මාතෘකාව වූයේ විදේශීය ආයෝජකයන් මෙසේ සක්‍රීයව සිටියදී දේශීය ආයෝජකයන් සක්‍රීය නොවන්නේ මන්ද යන්න පිළිබඳවයි. එහෙත් පසුගිය මාස දෙකක පමණ කාලය තුළදී දේශීය ආයෝජකයන්ද කොටස් වෙළෙඳ පොළ තුළ සක්‍රීයව ඇති ආකාරය දැකගත හැකිය. නමුත්, මෙම දේශීය ආයෝජකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් විදේශීය ආයෝජකයන්ගේ හැසිරීමට සම්පූර්ණයෙන් වෙනස් හැසිරීම් රටාවක් අනුගමනය කරන බවයි. සමහරක් දේශීය ආයෝජකයන්ගේ මෙම හැසිරීම් රටාව බොහෝදුරකට සමාන කළ හැකිවන්නේ සූදුවක් ලෙසය. ඔවුන් කොටස් මිලදී ගෙන ඇති සමාගම් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, ඔවුන් සමාගම්වල කාර්යක්ෂමතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකොට යම් ආකාරයක කටකතා හා සමපේක්ෂණ මත කොටස් මිලදී ගන්නා බවකි.
ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ දත්ත පිළිබඳ තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී පසුගිය මාස දෙක තුළ විශාල වශයෙන් කොටස් මිල ඉහළ ගොස් ඇත්තේ වතු සහ වැවිලි සමාගම් ක්ෂේත්රයෙහි බව පෙනී යයි. ඊට සාධක කිහිපයක්ම පවතී. ලෝක වෙළෙඳ පොළ තුළ තේ සඳහා ඉතා ඉහළ මිලක් ඇති වීම මින් ප්‍රධාන කරුණකි. ඒ අනුව, බලනවිට වතු හා වැවිලි ක්ෂේත්රයේ සමාගම්වල මිල ඉහළ යෑම තාර්කික කරුණකි.
කෙසේ වෙතත්, මෙහිදී ප්‍රධාන වශයෙන් මිල ඉහළ ගිය සමාගම් අතර වතු හා වැවිලි ක්ෂේත්රයේ සමාගම් 6ක් පසුගිය මාස දෙකක කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් ලබාගෙන ඇති බව පෙනෙයි. ඒ අතර, එක් සමාගමක ජුනි මස අවසානයේදී රු.3/- කට පැවති කොටසක මිල, සැප්තැම්බර් මස අවසානය වනවිට රු.10/- කට ආසන්න වී තිබුණි. එය 230% ක වර්ධනයකි. සැලකිය යුතු ලෙස කොටසක මිල ඉහළ ගිය වතු හා වැවිලි ක්ෂේත්රයේ සමාගම්වල ආසන්නතම මාස දෙකක කාලය තුළ 100% ඉක්මවූ කොටස් මිලෙහි වර්ධනයක් හෙවත් වෙනසක් දැකිය හැකිය. මෙම ඉහළ යෑම සලකා බැලීමේදී නිරීක්ෂණය කළ යුතු කරුණක් වන්නේ මෙතරම් ප්‍රමාණයකට කොටස් මිල ඉහළ යෑම තාර්කිකද යන්න බවයි. ශ්‍රී ලංකාවේ තේවලට ඉහළ මිලක් ඇතිවීම හේතුවෙන් මිල යම් ප්‍රමාණයකට ඉහළ යෑම සාධාරණ වුවත්, මෙතරම් ප්‍රමාණයකට මිල ඉහළ යෑම පිළිබඳව ගැටලු මතුවී තිබේ. මේ අතර කොටස් මිලෙහි 230%ක වර්ධනයක් පෙන්වූ සමාගමේ කොටසක මිල විශාල ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් කොටස් වෙළෙඳ පොළ විසින් සැප්තැම්බර් මස 15 වැනි දින එම සමාගමෙන් විමසා ඇත. එහිදී කොටස් වෙළෙඳ පොළ විසින් එම සමාගමෙන් විමසා ඇත්තේ කොටස් වෙළෙඳ පොළ තුළ මෙසේ එම සමාගමේ ෙකාටස් මිල විශාල ලෙස ඉහළ නැගීමට බලපාන ලද ප්‍රකාශිත නොවූ මිල සංවේදී තොරතුරක් ඇත්ද යන්න පිළිබඳවයි. එහිදී අදාළ සමාගම කොටස් වෙළෙඳ පොළ හරහා මහජනයාට දන්වා ඇත්තේ එම සමාගමේ කොටස් මිලට සංවේදීව බලපාන ප්‍රකාශයට පත් නොවූ තොරතුරු කිසිවක් නොමැති බවකි. එහිදී, තම සමාගමේ කොටස් මිලට බලපාන මිල සංවේදී තොරතුරු කිසිවක් නොමැති බව සමාගම පවසා සිටියදීත් එම කොටස් මිල නොනවත්වා ඉහළ යෑම ප්රශ්නකාරී බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.
මෙම සමාගම් බොහෝමයක කොටස් මිල ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ දේශීය ආයෝජකයන්ගේ හැසිරීම් රටාවයි. දේශීය ආයෝජකයන් සමහරක් තරගයට මෙන් මෙම සමාගම් බොහෝමයක කොටස් මිලදී ගනිමින් සිටියි. මිලදී ගැනීමටත් ඔබ්බට ගොස් ඔවුන් සූදු කෙළීම ආරම්භ කර ඇති බවක් දක්නට ලැබේ. මෙම සූදු කෙළීම සඳහා ඔවුන් බොහෝවිට වෙබ් අඩවි සහ සමාජ ජාලා යොදා ගන්නා බව පෙනෙන්නට තිබෙන කරුණකි. පසුගිය සති කිහිපය තුළ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ තොරතුරු ලබාදෙන (නිල නොවන) බ්ලොග් අඩවි සහ සමාජ ජාලා නිරීක්ෂණය කර බැලුවහොත් සමහරක් ආයෝජකයන් මෙම බ්ලොග් අඩවි සහ සමාජ ජාලා භාවිත කරන බව පෙනී යයි.
මෙම මාධ්‍යය හරහා බොහෝවිට වාර්තා වන්නේ ඉදිරියේදී මිලදී ගත යුතු සමාගම් කොටස් සහ මිල ඉහළ යාහැකි අන්දමයි. මෙම තොරතුරු පළ කරන්නන් කිසිදු සමීක්ෂණයකින් තොරව කොටස් මිල ගණන් ඉහළ යාහැකි අන්දම පමණක් පෙන්වාදීම අතිශය ප්රශ්නකාරී වෙයි. මෙම තොරතුරු මත කොටස් මිලදී ගන්නා ආයෝජකයන් සිදුකරනු ලබන්නේ අඳුරේ අතපත ගෑමකි. කවුරුන් හෝ සඳහන් කළ පමණින් සත්‍ය වටිනාකමින් වැඩි මිලකට මෙම නොදැනුවත් ආයෝජකයන් කොටස් මිලදී ගනු ලබයි. කොටස් මිලදී ගන්නා ලෙස බ්ලොග් අඩවිවල මිල නිර්දේශ කරන පුද්ගලයන් බොහෝවිට ඉහළ මිලට එම කොටස් විකුණන්නන් විය හැකිය. එවිට ඔවුන් සිදුකරනු ලබන්නේ කිසියම් ව්‍යාජ නමකින් බ්ලොග් අඩවියක් භාවිත කර කොටස් මිලදී ගන්නා ලෙස නිර්දේශ කර, ඉන්පසුව කොටස් මිල ඉහළ ගියවිට තමන්ගේ කොටස් එම අහිංසක ආයෝජකයන්ට විකුණා දැමීමයි.
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ආයෝජකයන් බුද්ධිමත් විය යුතු වන්නේ මේ නිසාය. ඔවුන් මෙවැනි කූඨ තත්ත්වයන්ට හසුනොවිය යුතුය. ඔවුන් සිදුකළ යුතු වන්නේ කොටස් තැරැව්කාර ආයතන සහ අනෙකුත් සමීක්ෂණ ආයතන විසින් ලබාදෙන සමීක්ෂණ වාර්තා මත පිහිටා කොටස් මිලදී ගැනීමකි. එසේ ලබාදෙන සමීක්ෂණ වාර්තාවල ඇති පුරෝකථන 100% නිවැරදි නොවිය හැකි වුවත්, එම නිරීක්ෂණ වාර්තා යම්කිසි පදනමක් මත පිහිටා ප්‍රකාශයට පත් කළ ඒවාය. එසේ නොමැතිව බ්ලොග් අඩවියක ඇති කවුරුන් හෝ ව්‍යාජ නමක් භාවිත කරමින් ලබාදුන් කොටස් මිලදී ගැනීමේ නිර්දේශයක් ක්‍රියාත්මක කිරීම නුවණැති ආයෝජකයෙකුගේ ලක්ෂණය නොවේ.
මීට පෙර වර්ෂ 2010 - 2011 කාලවල සමහර ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ තුළ මෙසේ සූදු කෙළින්නට ගොස් අමාරුවේ වැටුණු ආකාරය අපි දැක ඇත්තෙමු. වර්තමානයේ සිටින සමහරක් ආයෝජකයන් ඒවායින් පාඩමක් ඉගෙන නොගැනීමද කණගාටුවට කරුණකි. කොටස් වෙළෙඳ පොළ යනු ඉහළ ප්රතිලාභ ලබාගත හැකි ආයෝජන මාර්ගයක් බව සැබෑවකි. වසර කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළ යමින් පවතී. මෙම ඉහළ යෑමට මුලින්ම දායක වූයේ විදේශ ආයෝජකයන්ය. දැනට මේ වනවිට සමහර දේශීය ආයෝජකයන්ද කොටස් වෙළෙඳ පොළ තුළ විශාල ලෙස ආයෝජනය කරමින් සිටියි. ඔවුන්ගෙන් සමහරක් ආයෝජකයන් නැවත වතාවක් කොටස් වෙළෙඳ පොළ සූදුවක් කරගන්නට උත්සහ කරන අයුරු කොටස් වෙළෙඳ පොළ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් මෙසේ සැකෙවින් අපි ඉදිරිපත් කළෙමු. එහෙත් කොටස් වෙළෙඳ පොළේ නැණවත්ව අයෝජනය කරන දේශීය ආයෝජකයන් බොහෝමයක්ද සිටින බව අපි අමතක නොකළ යුතු වෙමු. ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ සූදුවක් කරගැනීමට උත්සහ කරන ආයෝජකයන් අතීතය හදාරා එයින් පාඩමක් ඉගෙන, නැණවත්ව ආයෝජනය කළහොත් කොටස් වෙළෙඳ පොළෙන් ඉහළ ප්රතිලාභ ලබාගැනීම අසීරු නොවන බව පමණක් අපි අවසන් වශයෙන් සිහිපත් කරන්නෙමු.