ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිෂ්පාදන කර්මාන්ත අංශය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය ගණනය කිරීම ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙම දර්ශකයේ මාසික අගයන් කාර්තුමය වශයෙන් ගණනය කරනු ලබන බවත්, දින 63 ක කාල පරතරයකට පසුව නිකුත් කරනු ලබන බවත් පෙන්වා දෙයි. කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත්ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි අතර මෙම දර්ශකය මගින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනාගත හැකි බවද ඔවුන් පවසයි. තවද මෙමගින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනාගත හැකි අතර, 2015 පදනම් වර්ෂය ලෙස ගෙන ගණනය කරනලද මෙම දර්ශකයෙහි අගයන් වෙනස් පදනම් වර්ෂ සහිත දර්ශක සමග සැසැඳිය නොහැකි බවද පෙන්වාදෙයි.
එම දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ 2015 වාර්ෂික කර්මාන්ත සමීක්ෂණයෙහි දත්ත දර්ශකයෙහි බරිත අගයන්, මෙම ගණනය කිරීමට භාවිත කර ඇති අතර, නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි එකතුකළ අගය පදනම් කරගෙන බරිත අගයන් ගණනය කරනලද බව 2016 පළමු කාර්තුවට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනයෙන් ජනලේඛන හා සංඛ්‍යාල්ඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා පවසා සිටියේය. ඒ අනුව, නිෂ්පාදන කර්මාන්ත අංශයට ආහාර නිෂ්පාදන අංශයෙන් ඉහළම දායකත්වය (35.2%) වාර්තා වූ අතර, ඇඟලුම් නිෂ්පාදන (19.8%) සහ ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදනය (7.8%) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ගෙන ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
2016 වර්ෂයේ පළමු කාර්තුවට නිකුත් කරන ලද දර්ශක අගයන් අනුව 2015 වර්ෂයේ සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, 2016 ජනවාරි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවයෙහි 3.4% වර්ධනයක් වාර්තා වන බව කියයි. 2016 පෙබරවාරි සහ මාර්තු මාසවල එහි වර්ධනය පිළිවෙලින් 1.9% සහ 8.7% ක් වී තිබේ. ඒ අනුව, 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ පළමු වැනි කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 4.7% කින් වර්ධනය වී ඇත.
තවද, 2015 සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව 2016 ජනවාරි මස පිරිපහදු කළ ඛණිජ තෙල් නිෂ්පාදනවල (22.9%) සහ රසායනික ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය ආශ්රිත නිෂ්පාදනවල (24.9%) කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වන බවත් කියයි. 2016 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාස වල ආහාර නිෂ්පාදන අංශයෙහි පිළිවෙළින් 1.1%, 0.8% සහ 3.0% ක වර්ධනයක් වාර්තා වන බවද කියයි. එමෙන්ම, 2016 ජනවාරි සහ පෙබරවාරි යන මාසවල බීම වර්ග නිෂ්පාදන අංශයෙහි අඩුවීමක් වාර්තා වුවත්, 2016 මාර්තු මස 14.7% ක වර්ධනයක් වාර්තා වන බවද පෙන්වා දෙයි. ඒ අනුව, 2016 පළමු වැනි කාර්තුවෙහි ආහාර නිෂ්පාදන අංශය සහ බීම වර්ග නිෂ්පාදන අංශය පිළිවෙලින් 1.6% ක සහ 0.2% ක වර්ධනයක් වාර්තා වන බවද කියයි. ඇඟළුම් නිෂ්පාදන අංශයෙහි 2016 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසවල පිළිවෙලින් 5.8%, 7.1% සහ 7.6% ක වර්ධනයක් වාර්තා වන බවත්, මෙම අංශයෙහි 2016 පළමු කාර්තුවෙහි වර්ධනය 6.8% ක් බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.