ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික රටාව ශක්තිමත් කිරීම සඳහා අප සතු මහා පරිමාණ කාන්තා ශ්‍රමය මනා ලෙස කළමනාකරණය කරමින් ගෘහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කළ යුතු බවත්, ඒකාකාරී ජීවන රටාවකට හුරු වී දරිද්‍රතාවයෙන් පීඩා විඳින මෙරට බොහෝ ගෘහනියන් රටේ ආර්ථිකයේ ප්‍රධාන ශක්ති ප්රභවය බවට පත් කළ හැකි බවත්, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වත්තුහේවා මහතා පවසා සිටියේය.
සභාපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ආර්ථික ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් ක්‍රියාත්මක වන 'ලක්ලිය සවිය' ගෘහස්ථ ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන හඳන්වා දෙමින්, ඒ සඳහා ප්‍රථම ගෘහස්ථ කර්මාන්තය ලෙස ඇන්තූරියම් වගාව හඳුන්වාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ව්‍යවසායිකාවන් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් වත්තුහේවා මහතා,
“ලක්ලිය සවිය' වැඩසටහන හඳුන්වා දෙන්න අපි අදහස් කළේ, අපගේ සම්මේලනයේ පර්යේෂණ අංශ මගින් මෙරට කාන්තා ශ්‍රමය පිළිබඳ කරනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල පිළිබඳව අවධානය යොමු කරමිනුයි. ශ්‍රී ලංකා ජනගහනයෙන් වැඩි ප්‍රතිශය නියෝජනය කරන්නේ මධ්‍යම පාන්තික ප්රජාවයි. මේ මධ්‍යම පාන්තික ප්‍රජාවේ එක් පවුලක ආර්ථික ප්රභවය වන්නේ එක් අයෙකුගේ චේතනයක් පමණයි. එනම්, ගෘහ මූලිකයාගේ වැටුප පමණයි. ඉන් නඩත්තු වන සාමාජිකයන් ප්‍රමාණය අවම වශයෙන් 3 – 5ත් අතර පිරිසක්. පවතින ආර්ථිකව රටාව තුළ එක් අයෙකුගේ චේතනයකින් පවුලක අවශ්‍යතා සම්පූර්ණ කිරීම අපහසුයි. මේ නිසා එවැනි පවුල්වල වැඩි වශයෙන් ගෘහනිය විදේශ ගෘහ සේවයට යනවා. මෙහිදී, පැවසීමට කනගාටුදායකම තත්ත්වය නම්, ගණිකා වෘත්තිය වැනි විෂමාචාරයන්ට පවා ඇතැම් විට ඔවුන්ට යොමු වීමට සිදුවෙනවා. පවතින සමාජ යථාර්ථය මෙයයි. මෙහිදී සිදුවිය යුත්තේ අපි එකිනෙකාට ඇඟිල්ල දික්කර ගැනීම නොවෙයි. ඒ සඳහා විකල්ප සෙවිය යුතුයි. ඒ නිසා තමයි අප සම්මේලනය මේ සඳහා අවධානය යොමු කළේ. 'ලක්ලිය සවිය' වැඩසටහනේ ප්‍රථම අදියර තමයි ගෘහස්ථ ඇන්තූරියම් වගාව හඳුන්වාදීම. ඒක ඉතාම සුළු ඉඩකඩක් තුළදී වැඩි ආදායමක් ලබාගත හැකි ගෘහස්ථ කර්මාන්තයක්. මේ වැඩසටහන සඳහා අප සමග මේ එකතු වන කටුනායක මහිම ප්ලාන්ට් ආයතනය ඊට අවශ්‍ය සියලු විශේෂඥ උපදෙස් ලබාදීම සඳහා අප සමග අවබෝධතා ගිවිසුමකට එළඹුණා* යැයි පවසා සිටියේය.
'ලක්ලිය සවිය' වැඩසටහන මගින් වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සඳහා අනුබද්ධ සියලුම වාණිජ මණ්ඩල යටතේ මෙම කාන්තා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන සියලුදෙනාට ව්‍යාපෘතිය සඳහා උපදෙස් හා බැංකු ණය පහසුකම් ලබාදීමේ මැදිහත්කරු වශයෙන් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය කටයුතු කරන බව පවසයි. ඒ අනුව, 'ලක්ලිය සවිය' ප්‍රථම අදියර සඳහා සහභාගී වීමට කැමති සියලු කාන්තාවන් සඳහා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා සම්බන්ධ වීමෙන් වැඩිවිස්තර ලබාගත හැකි බව ඔවුන් පවසයි.
දුරකථනය - 011-2334740 / 44