කම්කරු අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්, රියදුරන් හා කා.කා.ස. මහතුන් විසින් ඉල්ලුම් කර ඇති අතිකාල හා ගමන් වියදම් ප්‍රමාණයෙන් 50%ක් දක්වා 2017 සැප්තැම්බර් මාසයේ සිට අඩු කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නියෝග කර ඇති බව 'අද'ට වාර්තා වේ.
මෙසේ සේවක අතිකාල දීමනා සහ සංයුක්ත දීමනා 50%කින් කපා දැමීම කම්කරු අමාත්‍යාංශ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන්නක් බවද සඳහන් වේ.
මෙම දීමනා කප්පාදු කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අමාත්‍යාංශ සේවකයන් සියලු දෙනා දැඩි නොසන්සුන්තාවට හා කලකිරීමට පත්ව ඇතැයිද වාර්තා වේ.
අතිකාල දීමනා කැපීම පිළිබඳව ඊයේ (30දා) පෙරවරුවේ අමාත්‍යාංශ සේවකයන් දැනුම්වත් කරමින් නිකුත් කර ඇති අභ්‍යන්තර චක්‍ර ලේඛයකින් අවධාරණය කර ඇත්තේ අදාළ දීමනා ගෙවීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යාංශයේ සේවකයන් පවසා සිටියේ 'ඒ' ශ්‍රේණියේ අමාත්‍යාංශයක් වන කම්කරු අමාත්‍යාංශය තුළ මෙවැන්නක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි. දැඩි ආර්ථික අර්බුදයක් පැවැති යුද සමයේදීවත්, යහපාලන රජය විසින් හොරා යැයි චෝදනා කරන මහින්ද රාජපක්ෂ යුගයේදීවත් මෙවැනි කප්පාදුවක් සිදු නොවූ බවද ඔවුහු පවසා සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෙවැන්නක් සිදුවීම අදහාගත නොහැකි කරුණක් බවද එම සේවකයෝ වැඩිදුරටත් පවසති.