ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ශක්තිමත් සන්නිවේදන වැඩසටහනක් 2013 මාර්තු සිට දියත්කරන ලද අතර, මේ සඳහා 2013 මාර්තු මාසයේ සිට 2014 ජූනි මාසය දක්වා තොම්සන් ඇඩ්වයිසරි ගෘප් එල්.එල්.සී. ආයතනයේත්, 2014 අගෝස්තු මාසයේ සිට ලිබර්ටි ඉන්ටර්නැෂනල් ගෘප් එල්.එල්.සී. ආයතනයේත් දායකත්වය ලබාගන්නා ලදී.
මෙම සන්නිවේදන වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථික පරිසරය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නිසි අවබෝධයක් ඇති කිරීමටත්, එමගින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශපාලනික සහ ආර්ථික අභිලාෂ ඉහළ නැංවීම මෙන්ම එක්සත් ජනපදයේ ආයෝජකයන් හා අනෙකුත් පාර්ශ්වයන්ට ශ්‍රී ලංකාව පිළිබඳ පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබාගත හැකි පුළුල් ක්‍රමවේදයක් ඇති කිරීමටත් අපේක්ෂා කරන අතර, ඒ හරහා පෞද්ගලික අංශයේ ආයෝජන විශාල වශයෙන් ශ්‍රී ලංකාව තුළට ආකර්ෂණය කරගැනීමට හැකිවනු ඇත. මෙම සන්නිවේදන වැඩසටහන මුදල් නීති පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වගකීමට ලක්කොට ඇති ආර්ථික හා මිල ස්ථායිතාව සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව යන පුළුල් අරමුණු ළඟා කරගැනීමට දායකවන අයුරින් මෙන්ම ශ්‍රී ලංකාවේ ඵලදායී සම්පත් සංවර්ධනය සඳහා දිරිගැන්වීම සහ ප්‍රවර්ධනයද අරමුණු කොටගෙන ක්‍රියාවට නංවා ඇත.
රට තුළ පැවැති ගැටුම් අවසන් වීමෙන් අනතුරුව ගත වූ පසුගිය වසර කිහිපය පුරාවට විදේශවල වාසය කරන සමහර සංවිධානාත්මක කණ්ඩායම්, ඇතැම් ජාත්‍යන්තර මෙන්ම දේශීය මාධ්‍යයන් සහ සමහර දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් විශාල වශයෙන් අරමුදල් යොදවා ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරනු ලබන අතිමහත් හානිදායක ප්‍රචාර පිළිබඳ නිසි අවධානය යොමුකොට ඒවා අභියෝගයට ලක්කිරීම හා නිසි පිළිතුරු සැපයීමක් නොකළහොත් ඒ මගින් ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයන් අතර ඇති විශ්වාසය පළුදුවීමටත්, එමගින් රටේ ආර්ථික වර්ධනයට ඇතිවිය හැකි අහිතකර බලපෑම හා අවදානමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි සැලකිල්ලට හා විමර්ශනයට භාජනය කරන ලදී. මෙම වාතාවරණය තුළ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් නිවැරදි හා යථාතත්ත්වය පිළිබඳ ජාත්‍යන්තරය තුළ, විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නිසි අවබෝධයක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර වෘත්තීමය ආයතනයක සහාය ලබාගැනීමට තීරණය කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපද ආයෝජකයන් විසින් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්, ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර, කොටස් ආයෝජන හා සෘජු ආයෝජනවල සිදුකර ඇති සැලකිය යුතු ආයෝජන ප්‍රමාණය හා සසඳා බැලීමේදී මෙකී ප්රයත්නය ඉතාමත් වැදගත් පියවරක් වේ.
පසුගිය මාස කිහිපය තුළ සිදුකරන ලද ශක්තිමත් සන්නිවේදන ප්රයත්නය තුළින් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික තත්ත්වයන් පිළිබඳ වඩා නිවැරදි වූත්, තුලිත වූත් අවබෝධයක් ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභිකයන්, කොංග්රස් සභිකයන්, බුද්ධි මණ්ඩල සාමාජිකයන්, වෙළෙඳ සංගම් සාමාජිකයන් ඇතුළු ඉහළ මට්ටමේ ඇමෙරිකානු නායකයන්ද ඇතුළත් වූ ඇමෙරිකානු ජනතාව අතර ඇති කිරීමට හැකි වී තිබේ. එක්සත් ජනපද ආයෝජකයන් විසින් විශේෂයෙන්ම බැංකු අංශයද ඇතුළත්ව සිදුකරන ලද සැලකිය යුතු මට්ටමේ ආයෝජනයන් මෙන්ම ඇමෙරිකානු නායකයන්, බුද්ධිමතුන් සහ පුරවැසියන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත් තුලනාත්මක අවබෝධයක් හා දැක්මක් ඇතිවෙමින් පැවතීම ඇතුළු සතුටුදායක ප්‍රතිඵල ඉහත වැඩසටහන හරහා දැනටමත් ලැබෙමින් පවතී.