CSE අඛණ්ඩව පස් වන වරටත් ‘Great Place to Work’ ලබයි
කොළඹ කොටස් වෙළඳපොළ (CSE) විසින් සිය සේවක ප්‍රජාව වෙනුවෙන් සුහදශීලී, සියලු දෙනා ඇතුළත් සහ ආරක්ෂිත සේවා පරිසරයක් අඛණ්ඩව පවත්වාගෙන යාම අගයමින්, ‘Great Place to Work’ (රැකියාවට කීර්තිමත් සහ සුදුසුම තැනක්) සහතිකය අඛණ්ඩව පස්වන වරටත් හිමිකරගෙන තිබේ. 2022 වසරේ සිට මේ දක්වා මෙලෙස අඛණ්ඩව මෙම කීර්තිමත් සහතිකය දිනා ගැනීමට කොළඹ කොටස් වෙළඳපොළ සමත්ව ඇත.
මෙම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රාජීව බණ්ඩාරනායක මහතා, “CSE හි අපගේ ශක්තිය වන්නේ අපගේ සේවකයින්. අඛණ්ඩව පස්වන වරටත් ‘Great Place to Work’ සහතිකය ලැබීම යනු, විශ්වාසය, ගෞරවය සහ සහයෝගීතාව මත පදනම් වූ වැඩබිම් සංස්කෘතියක් නිර්මාණය කිරීමට අප ගෙනයන කැපවීම පිළිබඳ අර්ථවත් පිළිගැනීමක්. මෙය CSE කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුම සමඟ බෙදාහදා ගන්නා ජයග්‍රහණයක් වන අතර, අපගේ සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යන උද්යෝගය, කැපවීම සහ කණ්ඩායම් හැඟීම මෙයින් මනාව පිළිබිඹු වෙනවා” යැයි පවසා සිටියේය.
ලොව පුරා රටවල් සහ කලාප 180කට අධික සංඛ්‍යාවක, සේවකයින් මිලියන 20කට අධික පිරිසක් සහ ආයතන 22,000කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන ගෝලීය ආයතනයක් වන Great Place to Work® විසින් මෙම සහතිකය ප්රදානය කරනු ලබයි.
ආයතනය තුළ සිදු කරන ලද නිර්නාමික, සමාගම් මට්ටමේ සමීක්ෂණයක ප්‍රතිඵල මත පදනම්ව මෙම සහතිකය ලබා දී ඇති අතර, එහිදී සේවා ස්ථාන සංස්කෘතිය ප්‍රධාන මානයන් පහක් යටතේ මැන බලා ඇත. ඒවා නම්,
- විශ්වසනීයත්වය (Credibility)
- ගෞරවය (Respect)
- සාධාරණත්වය (Fairness)
- ආඩම්බරය (Pride)
- මිත්‍රශීලී භාවය (Camaraderie)
ආයතනික අගයන් සහ විවිධත්වය සුරැකීම
වෘත්තීයභාවය, අඛණ්ඩතාව, රැකවරණය, කණ්ඩායම් හැඟීම, උද්යෝගය සහ කඩිනම් බව යන මූලික අගයන් තවදුරටත් තහවුරු කරමින්, කිසිදු වෙනස්කම් කිරීමකින් තොරව සෑම පුද්ගලයෙකුටම ඉදිරියට යා හැකි සංස්කෘතියක් ගොඩනඟා ගැනීමට CSE සමත්ව ඇත.
සමාන අවස්ථා ලබා දෙන සේවායෝජකයෙකු ලෙස සේවා ස්ථාන විවිධත්වයෙහි පෙරමුණ ගෙන සිටින CSE, එක්සත් ජාතීන්ගේ කාන්තා සවිබල ගැන්වීමේ මූලධර්මවල (UN Women’s Empowerment Principles) අත්සන් තැබූ පාර්ශ්වයකි. තවද, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය (UN Global Compact) සහ ගෞරවනීය සේවා ස්ථාන (Respectful Workplaces) මුලපිරීම් සමඟ ද ආයතනය සමීපව කටයුතු කරයි.
මීට අමතරව, ආයතනයේ මුළු සේවක සංඛ්‍යාවෙන් 57%ක් මුල් පෙළේ වෘත්තිකයන් (early-career professionals) වන අතර, එයින් ගතික තරුණ කුසලතා පෝෂණය කිරීම සඳහා ආයතනය ලබා දී ඇති ප්‍රමුඛතාව මනාව පැහැදිලි වේ. මෙම විවිධත්වයෙන් යුතු ශ්‍රම බලකාය, කොළඹ කොටස් වෙළඳපොළේ මෙන්ම එහි අනුබද්ධ ආයතන වන මධ්‍යම තැන්පතු පද්ධතිය (Central Depository Systems - දකුණු ආසියාවේ ප්‍රථම මධ්‍යම සුරැකුම්පත් තැන්පතුව) සහ CSE Clear (ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම මධ්‍යම ප්‍රතිපාදන පද්ධතිය - Central Counterparty system) යන ආයතනවල අඛණ්ඩ වර්ධනයට සහ කාර්යක්ෂමතාවට දායක වේ.
අනාගත අපේක්ෂා
ඉදිරියටත් මෙම ඉහළම ප්රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යමින්, සේවකයින්ට දියුණු වීමට හැකි, සියලු දෙනා ඇතුළත් සහ සුරක්ෂිත පරිසරයක් පෝෂණය කිරීමට CSE කටයුතු කරනු ඇත. ඒ හරහා රටේ මූල්‍ය ප්‍රජාවට අඛණ්ඩ හා විශිෂ්ට සේවයක් ලබා දීමට ආයතනයේ සියලු සේවකයින් බලගැන්වීම අපේක්ෂාවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

