AI ප්රබෝධය නිසා මෙමරි චිප් මිල ඉහළ යාමෙන් තාක්ෂණ ලෝකයේ අර්බුදයක්
ලෝක ප්‍රකට ඇපල් (Apple) සමාගමේ නිෂ්පාදන සඳහා යොදාගන්නා මෙමරි චිප් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්, ඉදිරියේදී තම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් මහතා පවසයි.
සුප්‍රකට වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ, මෙමරි චිප් වෙළෙඳපොළ තුළ දැනට පවතින තත්ත්වය තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බැවින්, මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. කෙසේ වෙතත්, මෙම මිල සංශෝධනය සිදුවන නිශ්චිත දිනයක් හෝ ඉන් බලපෑම් එල්ල වන නිශ්චිත උපාංග මොනවාදැයි ඔහු අනාවරණය නොකළ අතර, එලැඹෙන සැප්තැම්බර් මාසයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත iPhone 18 මාදිලියට මින් බලපෑමක් සිදුවේද යන්න පිළිබඳවද මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.
ස්මාට් ජංගම දුරකථන ඇතුළු නවීන ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා මෙමරි චිප් අත්‍යවශ්‍ය උපාංගයකි. මෑත කාලීනව ලොව පුරා ඇති වූ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ දැවැන්ත ප්රබෝධය හේතුවෙන් මෙම චිප් සඳහා පවතින ඉල්ලුම අතිශය ඉහළ ගොස් ඇත.
"අප වෙත පැටවෙන මෙම දැවැන්ත පිරිවැය පාරිභෝගිකයා වෙත ගලා යාම වැළැක්වීමට සහ ඔවුන් ආරක්ෂා කිරීමට අපි උපරිමයෙන් උත්සාහ කළා. නමුත් දැන් පවතින තත්ත්වය තවදුරටත් පාලනය කළ නොහැකි මට්ටමට පත්ව තිබෙනවා. පාරිභෝගිකයන් නව උපාංග බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවක, චිප් සැපයුම සීමිත වී ඇති අතර, නිෂ්පාදකයන් විශාල ලෙස මිල ගණන් ඉහළ දමා තිබෙනවා" යැයි ටිම් කුක් සඳහන් කළේය.
මීට අමතරව, අර්ධ සන්නායක (Semiconductors) නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වායුවක් වන හීලියම් සැපයුමට ඉරානයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බාධා එල්ල වීමද මෙම මිල ඉහළ යාමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත. සාමාන්‍යයෙන් පරිගණක උපාංග අතරින් අඩුම මිලකට පැවති RAM මිල පවා 2025 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා දෙගුණයකට වඩා වැඩි වී තිබේ.
මෙම චිප් අර්බුදය ඇපල් සමාගමට පමණක් නොව සමස්ත තාක්ෂණික ක්ෂේත්රයටම පොදු ගැටලුවක් වී ඇත. ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදකයා වන තායිවානයේ සමාගම බී.බී.සී. නාලිකාව සමග පැවැත්වූ සුවිශේෂී සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, උද්ධමනය හේතුවෙන් තම පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් ඉදිරියේදී මිල ඉහළ දැමීමක් ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි. Apple, Nvidia සහ AMD වැනි දැවැන්තයින්ගේ උසස්ම මට්ටමේ චිප් නිර්මාණය කරනු ලබන්නේ TSMC සමාගම විසිනි. එමෙන්ම සැම්සුන් සමාගමද වසර මුලදී අනතුරු ඇඟවූයේ චිප් හිඟය හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංගවල මිල ඉහළ යනු ඇති බවයි.
මෙම මිල අර්බුදය මතු වන්නේ ඇපල් සමාගම ඉහළ වාණිජ වාර්තා තබමින් සිටින වටපිටාවකය. පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් වූ iPhone 17 මාදිලියට චීනය ඇතුළු ගෝලීය වෙළෙඳපොළෙන් ඉහළ ඉල්ලුමක් ලැබුණු අතර, 2026 වසරේ පළමු මාස තුන තුළ ඇපල් උපාංග අලෙවිය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 17ක වර්ධනයක් පෙන්වා ඇත. කෙසේ වෙතත්, පිරිවැය කළමනාකරණය සඳහා ඇපල් සමාගම මේ වන විටත් සිය Mac Mini පරිගණකවල ආරම්භක මිල ඩොලර් 200කින් පමණ ඉහළ දමා තිබේ.
මෙම තීරණාත්මක කාලසීමාව තුළ ඇපල් සමාගමේ ඉහළම නායකත්ව වෙනසක්ද සිදුවීමට නියමිතය. වසර 15ක් පුරා ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය හෙබවූ ටිම් කුක් එලැඹෙන සැප්තැම්බර් මාසයේදී එම ධුරයෙන් සමුගැනීමට නියමිත අතර, නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජෝන් ටර්නස් වැඩ භාර ගැනීමට නියමිතව ඇත. පාරිභෝගික නිෂ්පාදනවල පැවැත්ම සඳහා චිප් මිල සහ සැපයුම කඩිනමින් සාමාන්‍ය මට්ටමකට පත්වීම අත්‍යවශ්‍ය බව ටිම් කුක් අවධාරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

