ශ්‍රී ලංකා - චීන ව්‍යාපාරික කවුන්සිලය 25 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාවයේ වසර 25ක මතකයන් සපුරමින්, ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා - චීන ව්‍යාපාරික කවුන්සිලය (SLCHBC) සිය 25 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සමරන ලදී.
"වසර 25ක නොසැලෙන සන්ධානය" (25 Years of Unwavering Alliance) යන තේමාව යටතේ පැවැති මෙම විශේෂ සැමරුම් උත්සවය සඳහා දෙරටේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන්, කවුන්සිලයේ හිටපු සභාපතිවරුන් සහ නිලධාරීන් මෙන්ම දෙරටේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් රැසක් එක්ව සිටියහ.
ඒ අතර ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ සභාපති සහ China Harbour Engineering සමාගමේ කළමනාකාර අධ්යක්ෂ වැන්ග් ගැන්ග් මහත්වරුන්ද වූහ.
චීන සමූහාණ්ඩුවේ තානාපති ෂී ෂෙන්හොං මහතා වෙනුවෙන් උත්සවයට එක්වූ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ෂු යාන්වෙයි මහතා අදහස් දක්වමින්, පසුගිය වසර 25 පුරා දෙරට අතර ආර්ථික හා වෙළෙඳ හුවමාරුව සඳහා කවුන්සිලය දක්වන ලද විශිෂ්ට දායකත්වය චීනය බෙහෙවින් අගය කරන බව සඳහන් කළේය. ඉදිරියටත් දෙරට යාකරන පාලමක් ලෙස ක්‍රියා කරමින් ද්වීපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම ප්‍රවර්ධනය කිරීමටත්, වැඩිදුරටත් චීන ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, උසස් තත්ත්වයේ ශ්‍රී ලාංකේය නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් චීනයට අපනයනය කිරීමට පහසුකම් සැලසීමටත් කවුන්සිලය කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
පිළිගැනීමේ කථාව පවත්වමින් කවුන්සිලයේ සභාපති හාරූන් කාඩර් මහතා මෙම සංවත්සරය මිත්‍රත්වය, ව්‍යවසායකත්වය සහ සහකාරිත්වය සැමරීමක් ලෙස හැඳින්වීය. ශ්‍රී ලංකාවේ සහ චීනයේ ව්‍යාපාරික ප්‍රජාවන් එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව වසර 25 කට පෙර මෙම කවුන්සිලය පිහිටුවන ලද බව හෙතෙම සිහිපත් කළේය. තානාපති චී ෂෙන්හොං මහතාගේ නිල කාලය අගය කළ ඒ මහතා, ඔහුගේ නොසැලෙන සහයෝගය සහ සමීප සහයෝගීතාව වෙනුවෙන් කෘතඥතාව පළ කළ අතර, ඉදිරි වසර සඳහා වන කවුන්සිලයේ ප්රමුඛතාවයන් ද ගෙනහැර දැක්වීය.
ඒ අනුව, ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට චීන වෙළඳපොළ සහ ආයෝජකයින් වෙත පිවිසීමට වඩා හොඳ අවස්ථාවක් ලබා දීම, දේශීය සහකාරිත්වයන් වෙත නව තාක්ෂණය සහ නිපුණතා රැගෙන ඒම සහ ඩිජිටල් වෙළෙඳාම, කෘත්‍රිම බුද්ධිය, පුනර්ජනනීය බලශක්තිය මෙන්ම, නවීන නිෂ්පාදන ක්ෂේත්රයන් මගින් ගෝලීය වාණිජ්‍යය නැවත හැඩගස්වන මේ වටපිටාව තුළ නිරන්තර විශ්වාසනීය වේදිකාවක් ලෙස පෙනී සිටීම කවුන්සිලයේ ඉදිරි ඉලක්ක බව ඔහු සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

