ශ්රී ලංකා - එක්සත් ජනපද ව්යාපාරික කවුන්සිලයට වසර 10ක් සපිරෙයි
ශ්රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික ව්යාපාරික සබඳතාවල දශකයක ප්රගතිය සලකුණු කරමින්, ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්රී ලංකා - එක්සත් ජනපද ව්යාපාරික කවුන්සිලයේ (SLUSABC) 10 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා (ඔක්තෝබර් 14දා) කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටල් පරිශ්රයේදී නිමාව දුටු බව නිවේදනය කරයි.
එහිදී ඉදිරි වසර සඳහා වන ප්රමුඛතාවන් ප්රකාශයට පත් කළ අතර, 2026/2027 සඳහා එම කවුන්සිලයේ සභාපති ධුරයට MAC හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගමේ සමූහ අධ්යක්ෂ සහ ප්රධාන මූල්ය නිලධාරී තිලක් ගුණවර්ධන මහතා නැවතත් නියෝජිත සම්මතයෙන් තේරී පත්විය.
මෙම වාර්ෂික මහා සභා රැස්වීම සඳහා ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මේයර් මහතා සහ එක්සත් ජනපදයේ හිටපු ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු මෙරට ව්යාපාරික ක්ෂේත්රයේ ප්රමුඛයෝ රැසක් සහභාගී වූහ.
ප්රතිපත්තිමය ස්ථාවරත්වය සහ පස්ගිය වසරේ සමාලෝචනය
පසුගිය වසර තුළ මණ්ඩලයේ කාර්යභාරය සමාලෝචනය කරමින් අදහස් දැක්වූ සභාපති තිලක් ගුණවර්ධන මහතා, එක්සත් ජනපද තීරුබදු වර්ධනයන් පිළිබඳ අවධානය යොමු කිරීම, 'SelectUSA' වැඩසටහන හරහා ශ්රී ලාංකේය ව්යාපාර සඳහා ආයෝජන අවස්ථා සලසා දීම, බුද්ධිමය දේපළ ආරක්ෂණය තහවුරු කිරීම සහ නැගීඑන ව්යවසායකයන්ට සහාය වීම ආදී වශයෙන් කවුන්සිලය ඉටුකළ කාර්යභාරය ඇගයීමට ලක් කළේය. එසේම, ව්යාපාර සැලසුම් සහාය මෙන්ම, ආයෝජනයට සහ ව්යාප්තියට අවශ්ය අනුකූලතාවයෙන් යුතු ප්රතිපත්ති සහ පුරෝකථනය කළ හැකි වෙළෙඳ රාමුවක අත්යවශ්යතාවද හෙතෙම අවධාරණය කළේය.
එක්සත් ජනපද තානාපතිවරයාගේ අදහස් දැක්වීම
මෙහිදී සභාව ඇමතූ එක්සත් ජනපද තානාපති එරික් මේයර් මහතා, ප්රබල ව්යාපාරික පරිසරයක් ගොඩනැගීමට සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීමට කවුන්සිලය දැක්වූ දායකත්වය අගය කළේය. එක්සත් ජනපද ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ද්විපාර්ශ්වික වෙළෙඳාම පුළුල් කිරීමට එම කරුණු අතිශයින් වැදගත් වන බව තානාපතිවරයා පැවසීය.
එමෙන්ම, තාක්ෂණය, බලශක්තිය, යටිතල පහසුකම් සහ සැපයුම්කරණය (Logistics) යන ක්ෂේත්රවල වාණිජ සහයෝගීතාව තවදුරටත් ගොඩනැගීමේ අවස්ථා පවතින බව පෙන්වා දුන් ඒ මහතා, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 'SelectUSA Investment Summit' හරහා එක්සත් ජනපදය තුළ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට ශ්රී ලාංකේය ව්යාපාර දිරිමත් කළේය.
තවද, විනිවිදභාවයෙන් යුතු සහ පුරෝකථනය කළ හැකි රෙගුලාසි, ශක්තිමත් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ සාධාරණ තරගකාරීත්වය මගින් ආයෝජක විශ්වාසය ගොඩනැගෙන බවත්, එය දෙරටටම තිරසාර ආර්ථික අවස්ථා උදාකර දෙන බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරි වසරේ සැලසුම්
ඉදිරි වසර සඳහා කවුන්සිලයේ වෙළෙඳ ප්රතිපත්ති සහ දෙපසටම සිදුවන ආයෝජන කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිත අතර බලශක්තිය, වරාය සහ සැපයුම්කරණය, තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ අධ්යාපනය යන ක්ෂේත්රයන් හි නව අවස්ථා ගවේෂණය කිරීමටද සැලසුම් කර ඇත. ඊට අමතරව සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් (SMEs) සහ තරුණ ව්යවසායකයන් සමඟ පවතින සබඳතා පුළුල් කරමින්, දෙරටේම වෙළෙඳපොළ අවස්ථා උද කර ගැනීමට වැඩි ව්යාපාර ප්රමාණයකට සහාය වීම මණ්ඩලයේ අරමුණයි.
2026/2027 සඳහා පත් වූ නව නිලධාරී මණ්ඩලය
සභාපති : තිලක් ගුණවර්ධන (MAC Holdings (Pvt) Ltd)
ජ්යෙෂ්ඨ උප සභාපති : රන්දීව මලලසූරිය (CBL Natural Foods (Pvt) Ltd)
උප සභාපති : ටුවාන් ෆර්හාත් අර්මිත් (Fanam International (Pvt) Ltd)
භාණ්ඩාගාරික : හැලින් හෙට්ටිගොඩ (Sampath Bank PLC)
කවුන්සිලය ඉටුකළ දීර්ඝකාලීන විශිෂ්ට සේවය ඇගයීම උදෙසා, හිටපු සභාපතිවරයකු වන ආචාර්ය අසංක රත්නායක මහතා වෙත මෙහිදී 'ගෞරවනීය සාමාජිකත්වය' පිරිනමන ලදී.
දශකයක ගමන සලකුණු කරන ශ්රී ලංකා - එක්සත් ජනපද ව්යාපාරික කවුන්සිලය, දැඩි වෙළෙඳ සබඳතා, වැඩි වෙළෙඳපොළ ප්රවේශය සහ වර්ධිත ආයෝජන හරහා ශ්රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ සමාගම් වෙත ද්විපාර්ශ්වික ව්යාපාරික සබඳතාවල ප්රායෝගික ප්රතිඵල ලබා දීමට ඉදිරියටත් කැපවී සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

