විදේශ විනිමය රෙගුලාසි වෙනස් කිරීමට පෙර අපනයනකරුවන්ගෙන් නොවිමසුවේ ඇයි?
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අපනයනකරුවන්ට තම විදේශ විනිමය ආදායම් ළඟ තබා ගැනීමට ඇති කාලය සීමා කිරීම, කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සමඟ කිසිදු පූර්ව සාකච්ඡාවකින් තොරව සිදුකර ඇතැයි ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) සිය දැඩි කනස්සල්ල පළ කරයි.
නව රෙගුලාසිවලට අනුව, අපනයනකරුවන් තමන් උපයන විදේශ විනිමය ආදායම්, අදාළ මාසයට පසු මාසයේ 10 වැනි දින වනවිට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පත් කළ යුතුය. මෙමගින් අපනයනකරුවන්ට විදේශ විනිමය රඳවා තබා ගැනීමට ලැබෙන කාලය සැලකිය යුතු ලෙස කෙටි වන අතර, එය සමස්ත අපනයන ක්ෂේත්රයේ මෙහෙයුම්, මූල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර තරඟකාරීත්වයට සෘජු බලපෑමක් එල්ල කරන බව NCE මණ්ඩල සාමාජිකයෝ පෙන්වා දෙති.
අපනයන වර්ධනය හමුවේ මතු වන නව අභියෝග
මෙම ගැටලුව මතු වන්නේ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය සාධනීය වර්ධනයක් අත්කර ගනිමින් සිටින වටපිටාවකය. නිල දත්තවලට අනුව, 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ.ඩො.මිලියන 5,784.38ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 4.3ක වර්ධනයකි. එයින් භාණ්ඩ අපනයන ආදායම පමණක් ඇ.ඩො.මිලියන 4,524.62ක් වන අතර, එය සියයට 4.8ක වාර්ෂික වර්ධනයක් සනිටුහන් කරයි.
කෙසේ වෙතත්, ව්‍යාපාරික අවශ්‍යතා සඳහා විදේශ විනිමය රඳවා තබා ගැනීමට අපනයනකරුවන්ට නීත්‍යානුකූල අයිතියක් සහ අවශ්‍යතාවක් පවතින බව NCE සාමාජිකයෝ අවධාරණය කරති. එහිදී, විශේෂයෙන්ම,
- අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ ආනයනය - 2026 පළමු මාස හතර තුළ මෙරට සමස්ත ආනයන වියදම සියයට 25.2කින් ඉහළ ගොස් ඇ.ඩො.බිලියන 8.23ක් වී ඇත. මෙයින් අපනයන නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අතරමැදි භාණ්ඩ සඳහා ඇ.ඩො.බිලියන 4.7ක් වැය වී තිබේ. (ඉන්ධන සඳහා ඇ.ඩො.බිලියන 2.17ක්, ඇඟලුම් ක්ෂේත්රයට අත්‍යවශ්‍ය රෙදිපිළි සඳහා ඇ.ඩො.මිලියන 899.4 ක්, ප්ලාස්ටික් සඳහා ඇ.ඩො.මිලියන 205.6ක් සහ රබර් සඳහා ඇ.ඩො.මිලියන 95ක් ඇතුළුව).
- ආයෝජන සහ යන්ත්‍ර සූත්‍ර - කර්මාන්ත නවීකරණය සඳහා වන ආයෝජන භාණ්ඩ වෙනුවෙන් ඇ.ඩො.බිලියන 1.52ක් වැය කර ඇති අතර, ඉන් ඇ.ඩො.මිලියන 934.2ක්ම යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ සඳහා වැය කර ඇත.
- කාලීන නිෂ්පාදන චක්‍ර - බොහෝ අපනයන කර්මාන්ත සෘතුමය පදනම මත ක්‍රියාත්මක වන බැවින්, එක් අවස්ථාවක ලැබෙන අපනයන ආදායම මාස කිහිපයකට පසු ලැබෙන ඇණවුම් සඳහා භාවිත කිරීමට සිදුවේ.
මෙවැනි පසුබිමක කෙටි කාලයක් තුළ විදේශ විනිමය අනිවාර්යයෙන්ම රුපියල් බවට පත් කිරීමට නියම කිරීමෙන් ව්‍යාපාරික සැලසුම්කරණය සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය මුළුමනින්ම අවුල් විය හැකි බව ව්‍යාපාරිකයෝ පවසති.
මූල්‍ය පිරිවැය සහ විනිමය අනුපාත අවදානම
නව රෙගුලාසිය හේතුවෙන් අපනයනකරුවන්ට අනවශ්‍ය අමතර පිරිවැයක් දැරීමට සිදුවන බව මණ්ඩලය පෙන්වා දෙයි. උපයන විදේශ විනිමය වහාම රුපියල් බවට පත් කිරීමටත්, පසුව ආනයන හෝ ණය පියවීම් සඳහා නැවත බැංකුවලින් විදේශ විනිමය මිලදී ගැනීමටත් සිදුවීම නිසා බැංකු මිලදී ගැනීමේ සහ විකිණීමේ මිල අතර පරතරය, අමතර ගනුදෙනු ගාස්තු සහ විනිමය අනුපාත උච්චාවචනයන් හේතුවෙන් ව්‍යාපාරවල මෙහෙයුම් පිරිවැය ඉහළ යයි.
එසේම, විදේශ විනිමය ණය ලබාගෙන ඇති ව්‍යාපාරවලට එම ණය වාරික පියවීම සඳහා තමන් සතු විදේශ විනිමය රඳවා තබා ගැනීමට නොහැකි වීමෙන්, ඉදිරියේදී දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දීමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයෙන් විකල්ප යෝජනා
රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමේ ජාතික අවශ්‍යතාවය අපනයනකරුවන් පිළිගන්නා නමුත්, එය රටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එන ප්‍රධාන පාර්ශ්වය මත අසමානුපාතික බරක් නොපැටවිය යුතු බව NCE මණ්ඩලය අවධාරණය කරයි. මේ වෙනුවෙන් ඔවුහු විකල්ප යෝජනා කිහිපයක් ඉදිරිපත් කරතිත
- නම්‍යශීලී ක්‍රමවේදයක් - අමුද්‍රව්‍ය ආනයනය, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම් හෝ ණය පියවීම් වැනි ඉදිරි මාසවල පවතින නීත්‍යානුකූල ව්‍යාපාරික අවශ්‍යතා බැංකු හරහා සනාථ කළ හැකි අපනයනකරුවන්ට, ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය ප්‍රතිශතයන් දිගටම ගිණුම්වල රඳවා තබා ගැනීමට අවසර දීම.
- වෙළෙඳ හිඟය පියවීමට පුළුල් ප්‍රතිපත්තියක් - 2026 වසරේ පළමු මාස හතර තුළ මෙරට වෙළෙඳ හිඟය ඇ.ඩො.බිලියන 3.7ක් දක්වා පුළුල් වී ඇත්තේ (2025 දී එය ඇ.ඩො.බිලියන 2.3කි) අපනයන වර්ධනයට වඩා ආනයන වර්ධනය ශීඝ්රවීම හේතුවෙනි. එබැවින් අපනයනකරුවන්ට පීඩනයක් දෙනවා වෙනුවට, රටේ නිෂ්පාදිත අංශවලට බලපෑමක් නොවන පරිදි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම වැනි පුළුල් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වෙත රජය අවධානය යොමු කළ යුතුය.
රටේ ආර්ථිකයට සෘජුවම බලපාන මෙවැනි තීරණාත්මක ප්‍රතිපත්ති සකස් කිරීමේදී, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) වැනි ආයතනවලින් හෝ NCE වැනි වෘත්තීය ආයතනවලින් පූර්ව උපදෙස් ලබාගැනීම වඩාත් ප්‍රායෝගික සහ ඵලදායී රෙගුලාසි සම්පාදනය කිරීමට හේතු වන බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය වැඩිදුරටත් සිහිපත් කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

