මෙරට අයවැය විශ්ලේෂණ හැකියාව ශක්තිමත් කිරීමට ඇමෙරිකානු සහාය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ වියදම්, ආර්ථික ප්‍රතිපත්ති සහ යෝජිත නීති සම්බන්ධයෙන් ස්වාධීන හා පක්ෂග්රාහී නොවන විශ්ලේෂණ සිදුකිරීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය තාක්ෂණික සහාය වැඩසටහනක් ආරම්භ කර තිබේ.
2026 ජූනි 08 සිට 12දා දක්වා කොළඹදී පැවැත්වෙන මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය, ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද්විපාර්ශ්වික කොමිෂන් සභාවක් වන House Democracy Partnership (HDP) සහ U.S. Congressional Budget Office (CBO) එක්ව සංවිධානය කර ඇත.
මෙම වැඩසටහන යටතේ HDP වැඩසටහන් කළමනාකාරිනී මේගන් මුවර් සහ CBO විශේෂඥයන් වන මේගන් කැරොල් හා ක්‍රිස්ටි හෝලි ඇන්තනී ඇතුළු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටිති. මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වන බව වාර්තා වේ.
විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව (COPF) සමඟ පැවැත්වෙන සැසිවාරවලදී පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් (Parliamentary Budget Office – PBO) පිහිටුවීම සඳහා අවශ්‍ය ව්‍යුහය, ක්‍රියාකාරී ආකෘතිය සහ දිගුකාලීන සංවර්ධන සැලැස්ම පිළිබඳව අවධානය යොමු කෙරේ.
ඇමරිකාවේ කොංග්‍රසය, අයවැය හා ආර්ථික කරුණු සම්බන්ධයෙන් ස්වාධීන හා වෛෂයික විශ්ලේෂණ ලබාගන්නේ Congressional Budget Office මගිනි. එවැනි ආයතන ලොව බොහෝ රටවල ව්‍යවස්ථාදායක ආයතන සඳහා ක්‍රියාත්මක වන අතර යෝජිත නීති හා ප්රතිපත්තිවල පිරිවැය, ආර්ථික බලපෑම් සහ දිගුකාලීන මූල්‍ය ප්‍රතිවිපාක ඇගයීමට මන්ත්‍රීවරුන්ට සහාය සපයයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද එවැනි පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලමින් සිටින අතර, එමගින් පාර්ලිමේන්තු අධීක්ෂණය සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සංවාදය මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය, වගවීම සහ අයවැය අධීක්ෂණය ඉහළ නැංවීමට දායක වනු ඇති බව ඇමරිකානු පාර්ශ්වය පෙන්වා දෙයි. එමෙන්ම ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවර හා සමෘද්ධිමත් හවුල්කාරීත්වයන් ගොඩනැගීම සඳහා ඇමෙරිකානු ප්රයත්නයන්ටද මෙම වැඩසටහන සහාය වන බව සඳහන් කරයි.
මේ අතර, මෙම වැඩසටහනට අනුබද්ධිතව ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු තෝරාගත් මන්ත්‍රීවරුන් පිරිසක් සඳහා ඇමෙරිකාවේ අධ්‍යයන සංචාරයක් සංවිධානය කිරීමටද නියමිතය. එහිදී, අයවැය අධීක්ෂණය, ව්‍යවස්ථාදායක වගවීම සහ රාජ්‍ය මූල්‍ය විශ්ලේෂණය සම්බන්ධයෙන් ඇමෙරිකානු අත්දැකීම් සෘජුව අධ්‍යයනය කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිවනු ඇති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

