ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත්ව පැවතුණත්, ප්‍රකෘතිය අසම්පූර්ණව පවතින අතර, වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටම්වලට වඩා පහළින් සහ දරිද්‍රතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි.
ඒ අනුව, රටේ ආර්ථික ප්‍රකෘතිය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, හදිසි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ වඩාත් කාර්යක්ෂම, වඩා හොඳින් ඉලක්ක කරගත් රාජ්‍ය වියදම් අවශ්‍ය වනු ඇතැයි ලෝක බැංකුව අවධාරණය කරයි.
අද (07දා) දින නිකුත් කරන ලද නවතම ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාව, "Better Spending for All" (සැමට වඩාත් හොඳින් වියදම් කිරීමේ හැකියාවක්) අනුව, 2026 දී ආර්ථිකය සියයට 3.5ක් දක්වා මන්දගාමී වීමට පෙර, 2025 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4.6කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කරන අතර, කර්මාන්ත ක්ෂේත්රයේ සුළු ප්‍රකෘතිමත් වීමක් සහ සේවාවල ස්ථාවර වර්ධනය ඊට සහාය වී ඇති බවද පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම පුරෝකථන ඉහළ යන ගෝලීය අවිනිශ්චිතතාවය ඇතුළුව ඉහළ යන අවදානම්වලට යටත් බවද පෙන්වා දෙයි.
"ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ප්‍රගතිය දිරිගන්වන සුළු වුවත්, යථා තත්ත්වයට පත්වීම අසමාන සහ අසම්පූර්ණයි" මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන් පැවසීය. "මූල්‍යමය වශයෙන් සීමාසහිත පරිසරයක් තුළ සියලුම නිවාසවලට ප්රතිලාභ ලබාදෙන ශක්තිමත්, සාධාරණ ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට පෞද්ගලික අංශය ආයෝජනය කර රැකියා නිර්මාණය කිරීම සහ මහජන මුදල්වල සෑම රුපියලක්ම හොඳින් වියදම් කරන බව සහතික කිරීම අවශ්‍ය වෙනවා."
මෑතකාලීන වර්ධනය ශක්තිමත් වුවද, උද්ධමනය අඩු වුවද සහ බාහිර ගලාඒම් ශක්තිමත් වුවද, ආහාර මිල ඉහළ මට්ටමක පවතින අතර සංචිත සමුච්චය වීම මන්දගාමී වී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික නිෂ්පාදනය තවමත් 2018 මට්ටමට වඩා අඩුය. දරිද්‍රතාවය පහත වැටෙමින් පැවතුණද, 2019ට වඩා දෙගුණයක් ඉහළ මට්ටමක පවතී. ශ්‍රම වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වී ඇති අතර, අර්බුදය අතරතුර අහිමි වූ ජීවනෝපායන් බොහෝ කුටුම්භ විමිව් තවමත් නැවත ලබාගෙන නොමැත. ජනගහනයෙන් තවත් සියයට 10ක් දරිද්‍රතා රේඛාවට මදක් ඉහළින් ජීවත් වන අතර, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අතර මන්දපෝෂණය බරපතල ගැටළුවක් ලෙස පවතී.
මූල්‍ය සීමාවන් මධ්‍යයේ දිගුකාලීන වර්ධනයට සහාය වීම සහ දරිද්‍රතාවය අඩු කිරීම සඳහා, පෞද්ගලික අංශය මෙහෙයවන වර්ධනය සක්‍රීය කිරීම අරමුණු කරගත් පුළුල් ප්‍රතිසංස්කරණ පැකේජයක් මෙම ලෝක බැංකුව වාර්තාව ඉල්ලා සිටී. ප්‍රධාන ප්‍රමුඛතා අතරට වෙළඳාම සහ ආයෝජන සඳහා ඇති බාධක ලිහිල් කිරීම, ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම සහ ඉඩම් සහ ශ්‍රම වෙළඳපොළ පාලනය කරන බදු පරිපාලනය සහ රෙගුලාසි නවීකරණය කිරීම ඇතුළත් වේ.
රාජ්‍ය වියදම් කෙරෙහි ද වාර්තාවේ විශේෂ අවධානයක් යොමු කෙරේ. රජයේ වියදම්වලින් සියයට 80 කට වඩා රාජ්‍ය අංශයේ වැටුප්, සුභසාධන වැඩසටහන් සහ පොලී ගෙවීම් සමඟ බැඳී ඇති අතර, යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්රවල වර්ධනය වැඩි කරන ආයෝජන සඳහා සුළු ඉඩක් ඉතිරි වේ. රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හෝ අඩු කිරීමට ශ්‍රී ලංකාවට සීමිත විෂය පථයක් තිබුණද, ඒ වෙනුවට එහි පවතින රාජ්‍ය වියදම් මට්ටම්වලින්, විශේෂයෙන් රාජ්‍ය වැටුප් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා ප්රතිලාභ උපරිම කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකි බව පෙන්වා දෙයි.
සාධාරණ වැටුප් ව්‍යුහයන් සහ නවීන වැටුප් පද්ධති ඇතුළුව රාජ්‍ය වැටුප් වියදම් කළමනාකරණය කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ ප්‍රධාන නිර්දේශවලට ඇතුළත් වේ. රාජ්‍ය ආයෝජන සම්බන්ධයෙන්, ප්‍රධාන යටිතල පහසුකම් හිඩැස් කෙරෙහි අවධානය යොමු කිරීම, ශක්තිමත් ව්‍යාපෘති සැලසුම් කිරීම, ඇගයීම සහ අධීක්ෂණ ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම, ආසන්න වශයෙන් නිම කරන ලද ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට ප්‍රමුඛතාවය දීම සහ යටිතල පහසුකම් නඩත්තු කිරීම සඳහා අරමුදල් වැඩි කිරීම සඳහා වාර්තාව රජයෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම යනු දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනයන් සහ අපේක්ෂාවන් පරීක්ෂා කරන සහ රටවල් මුහුණ දෙන ප්‍රතිපත්තිමය අභියෝග විශ්ලේෂණය කරන වාර්ෂිකව දෙවරක් ඉදිරිපත් කරන ලෝක බැංකු වාර්තාවකි. එය දකුණු ආසියානු සංවර්ධන යාවත්කාලීනයට අනුබද්ධ කොටසකි. "රැකියා, AI සහ වෙළෙඳාම" යන මාතෘකාව යටතේ 2025 ඔක්තෝබර් සංස්කරණයේ දකුණු ආසියාවේ වර්ධනය මෙම වසරේ සියයට 6.6 ක ශක්තිමත් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. නමුත් සැලකිය යුතු මන්දගාමිත්වයක් පෙන්වන බවද දක්නට ලැබේ. වෙළඳ විවෘතභාවය සහ AI භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ මගින් කලාපයට රැකියා නිර්මාණය කිරීමට සහ වර්ධනය උත්ප්‍රේරණය කිරීමට උපකාරී වන්නේ කෙසේදැයි වාර්තාව නිර්දේශ දක්වා ඇත.