ආර්ථික පරිවර්තනයක නියමුවා ලෙස ලංකා වාණිජ මණ්ඩලය නව ගමනක
ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) යනු ව්‍යාපාරික ක්ෂේත්රයේ හඬ පමණක්ම නොව, ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික පරිවර්තනය සඳහා විශ්වාසනීය පසුබිමක් සකසන්නෙකු ලෙස සිය අනන්‍යතාවය තහවුරු කරගෙන ඇතැයි එහි සභාපතිවරයා ලෙස යළිත් තේරීපත් වූ ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
වාණිජ මණ්ඩලයේ 187 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, පූර්ව සභාපතිවරුන් සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
ගැටලුවලින් ඔබ්බට ගිය ප්‍රායෝගික විසඳුම් ප්‍රවේශය
පසුගිය වසර පුරා වාණිජ මණ්ඩලයේ ක්‍රමවේදය සුවිශේෂී වෙනසකට ලක් වූ බව පෙන්වා දුන් සභාපතිවරයා, හුදෙක් ගැටලු පමණක් පෙන්වා දෙනු වෙනුවට රජය සහ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමඟ එක්ව ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික විසඳුම් ලබා දීමට කටයුතු කළ බව පැවසීය.
මෙම නව ප්රවේශයේ සාර්ථක ප්‍රතිඵල කිහිපයක් බාලේන්ද්‍ර මහතා සිය දේශනයේදී මතුකර දැක්වීය.
- 2026 ජාතික අයවැය - වාණිජ මණ්ඩලය ඉදිරිපත් කළ නිර්දේශ 18ක්ම ජාතික අයවැයට ඇතුළත් කර ගැනීමට රජය පියවර ගෙන ඇත. ඊට වෙළෙඳ පහසුකම්, ඩිජිටල්කරණය, ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යාපාර කිරීමේ පහසුව වැනි ක්ෂේත්‍ර අයත් වේ.
- දේශීය ආදායම් පනත් සංශෝධන - පාර්ලිමේන්තුවේ සම්මත වූ අවසන් පනත් කෙටුම්පත සඳහා පුද්ගලික අංශයේ රක්ෂණ ක්ෂේත්රය ඇතුළු ප්‍රධාන ගැටලු කිහිපයකට සාධනීය සංශෝධන ලබා දීමට වාණිජ මණ්ඩලයට හැකි විය.
- IMF සාකච්ඡා - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සමාලෝචන දූත මණ්ඩල හමුවේ මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ අදහස් නියෝජනය කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමට දායකත්වය ලබා දී ඇත.
- ගෝලීය අර්බුද හමුවේ කඩිනම් මැදිහත්වීම් - පසුගිය පෙබරවාරි අග භාගයේ මැදපෙරදිග ඇති වූ භූදේශපාලනික ආතතීන් හමුවේ ඉන්ධන මිල සහ නැව් ගාස්තු ඉහළ යාමේ අවදානම හඳුනාගෙන, අපනයනකරුවන් සුරැකීමට රජය වෙත කඩිනම් නිර්දේශ මාලාවක් ලබා දීමට මණ්ඩලය කටයුතු කළේය.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ දේශසීමා ඉක්මවා ගිය මෙහෙවරක්
ශ්‍රී ලංකා රේගුව, මුදල් අමාත්‍යාංශය සහ වරාය අධිකාරිය සමඟ එක්ව අපනයන ප්‍රමාදයන්, වැට් (VAT) ප්‍රතිපූරණ සහ වරාය තදබදයන් අවම කිරීමට වාණිජ මණ්ඩලය අඛණ්ඩව මැදිහත් වී ඇත. විශේෂයෙන් 'ජාතික එක්කවුළු පද්ධතිය' සහ රේගු ආඥාපනත නවීකරණය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටුවූ කමිටුවට ද මණ්ඩලය සක්‍රීයව දායක වී තිබේ.
පසුගිය වසරේ ප්‍රගතිය කෙටියෙන්
- රටවල් 20කට අධික සංඛ්‍යාවක් සමඟ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම.
- වැඩමුළු සහ තාක්ෂණික සාකච්ඡා 60කට අධික ප්‍රමාණයක් පැවැත්වීම.
- පුහුණු හා වෙළෙඳපොළ ප්‍රවේශ මුලපිරීම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) 1,800කට වැඩි පිරිසකට සහාය වීම.
- දේශීය ව්‍යාපාර ජාත්‍යන්තරයට ගෙනයාම සඳහා දූත මණ්ඩල 20ක් ක්‍රියාත්මක කිරීම.
තිරසාරභාවය සහ අනාගතය
පසුගිය වසරේ පැවැති 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025' (Sri Lanka Economic Summit 2025) හරහා දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සහ පුද්ගලික අංශය පෙරමුණ ගන්නා ආයෝජන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, රටවල් 20කින් නියෝජිතයින් ඇතුළු 850කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.
ඉදිරි වසර 3 සඳහා වන නව උපායමාර්ගික සැලැස්ම හරහා අපනයන ප්‍රවර්ධනය, ආයෝජන ආකර්ෂණය සහ SMEs ශක්තිමත් කිරීම තවදුරටත් වේගවත් කරන බව බාලේන්ද්‍ර මහතා අවධාරණය කළේය.
"අප ඉදිරියේ ඇති අභියෝග මෙන්ම, අවස්ථාවන්ද විශාලයි. රජය සහ පුද්ගලික අංශය සාධනීය ලෙස එක්ව කටයුතු කරන විට රටට අර්ථවත් ප්‍රතිඵල අත්කර දිය හැකි බව අප ඔප්පු කර තිබෙනවා. වඩාත් තරඟකාරී, ඔරොත්තු දෙන සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි එක්ව පෙරමුණ ගනිමු" යැයි පවසමින් සභාපතිවරයා සිය දේශනය අවසන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
