ආබාධ සහිත ළමයින්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය ගැන සිතන්නට කාලයයි

හොරණ, ගල්පාත ප්‍රදේශයේ නිසි ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන ගිය පුද්ගලික සත්කාරක මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් අහිංසක ජීවිත 13ක් අකාලයේ මියයාම සහ පිරිසක් මාරාන්තික තුවාල ලැබීම හුදෙක් තවත් එක් අනතුරක් පමණක් නොවේ. එය සමස්ත සමාජ සාධාරණත්වය සහ මානුෂීය වගකීම පිළිබඳ හෘද සාක්ෂියම කම්පා කරවූ ඛේදවාචකයකි. මෙම අවාසනාවන්ත සිදුවීමත් සමග, ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ළමයින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද රැකවරණය, සුරක්ෂිතභාවය සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් හා ගැඹුරු සමාජ කතිකාවක් නැවතත් කරළියට පැමිණ ඇත. විශේෂයෙන්ම, තමන් වෙනුවෙන් හඬක් නැගීමට හෝ තමන්ගේ ආරක්ෂාව ස්වයංව සලසා ගැනීමට නොහැකි, උපතින්ම හෝ ජීවන ගමනේදී විවිධ ආබාධිත තත්ත්වයන්ට මුහුණ දී සිටින සුවිශේෂී මිනිස් කොට්ඨාසයක් රැකබලා ගැනීමේදී වර්තමාන සමාජයීය, නීතිමය සහ ආයතනික යාන්ත්‍රණයේ පවතින හිඩැස් නැවත සමාලෝචනය කළ යුතු බවට පසුබිමක් නිර්මාණය විය.
"ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක ප්‍රගතිය මනිනු ලබන්නේ එම සමාජයේ සිටින වඩාත්ම අසරණ සහ දුර්වලම පුරවැසියාට සලකන ආකාරයෙනි."
මෙම පසුබිම තුළ, ආබාධ සහිත දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම, ඔවුන්ගේ මානසික හා කායික පුනරුත්ථාපනය විද්‍යාත්මක ප්රවේශයකින් යුතුව සිදු කිරීම සහ ඔවුන්ට බියෙන් හා සැකයෙන් තොර ගෞරවනීය ජීවිතයක් උරුමකර දීම හුදෙක් අනුකම්පාව මත පදනම් වූ පුණ්‍යකර්මයක් පමණක් නොව, සමස්ත සමාජයම වහාම පියවර ගත යුතු අත්හළ නොහැකි සාමූහික වගකීමක් ලෙස සලකා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා මෙම පුළුල් සමාජ කතිකාවට වටිනා ඌනපූර්ණයක් මෙසේ එක් කරනු ලැබුවේය.
රැකවරණය සහ පුනරුත්ථාපනය, සමාජයක ශිෂ්ටත්වය මනින මිම්ම
"වර්තමාන සමාජ කතිකාව තුළ ළමා රැකවරණය සහ වැඩිහිටි රැකවරණය පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා. මෙහිදී රැකවරණය (Care) සහ පුනරුත්ථාපනය (Rehabilitation) යන්නෙන් අදහස් කරන්නේ යමෙකු කායිකව හෝ මානසිකව පීඩාවට පත් වූ පසු ඔවුන්ව සමාජයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කරලීමේ ක්‍රියාවලියයි.
නමුත්, ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස බැලීමේදී පෙනී යන්නේ, විවිධ මානසික ආබාධ, නොහැකියාවන් සහ අසරණ තත්ත්වයන්ට පත් වූවන් වෙනුවෙන් විධිමත් ආරක්ෂණ ජාලයක් තවමත් පරිපූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොවන බවයි. අවදානම් සහිත පරිසරයක ජීවත් වන මෙවැනි මිනිසුන්ගේ ජීවිත අකාලයේ අහිමි වීම් වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සමස්ත සමාජයටම යම් වගකීමක් පැවරෙන බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ ඔවුන් මුහුණ දෙන අභියෝග
ශ්‍රී ලංකාවේ සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් විවිධ කායික හා මානසික ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙනවා. මොවුන් අතරින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් (Children with Special Needs) ලෙස හඳුන්වන කාණ්ඩයට සුවිශේෂී අවධානයක් අවශ්‍ය වෙනවා. එහිදී,
ස්වාධීනත්වය පිළිබඳ ගැටලු, එනම් සාමාන්‍ය දරුවෙකු වයසින් මුහුකුරා යද්දී තමන්ගේ තීරණ තමන්ම ගැනීමට හුරු වුවත්, මේ දරුවන්ට තමන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් හෝ ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. ඔවුන්ට නිරන්තරයෙන්ම අන් අයගේ පාලනයට හෝ උපකාරයට නතු වීමට සිදු වෙනවා.
සන්නිවේදන බාධා, එනම් තමන්ට සිදුවන අසාධාරණයක්, හිංසනයක් හෝ ශාරීරික අපහසුතාවක් වචනවලින් කියා ගැනීමට නොහැකි වීම නිසා මොවුන් ඉතා පහසුවෙන් විවිධ සූරාකෑම්වලට ලක්වීමේ අවදානමක් පවතිනවා.
බහුලව දක්නට ලැබෙන ආබාධිත තත්ත්වයන් සහ ප්‍රතිකාරවල අවශ්‍යතාව
මෙවැනි දරුවන් වෙසෙන මධ්‍යස්ථාන හෝ පාසල්වල ප්‍රධාන වශයෙන්ම ඔටිසම්, ඩවුන් සින්ඩ්‍රෝම් සහ මස්තිෂ්ක ආඝාතය සහිත දරුවන් දැකගැනීමට පුළුවන්. එහිදී,
ඔටිසම් (Autism) දරුවන්ගේ ස්වභාවය සහ අවශ්‍යතා සලකා බැලීමේදී, ඔවුන්ට සන්නිවේදන සහ සමාජ සබඳතා පැවැත්වීමේ අපහසුතා පවතිනවා. මෙවැනි දරුවන් සඳහා චර්යාත්මක ප්‍රතිකාර අත්‍යවශ්‍ය වෙනවා.
ඩවුන් සින්ඩ්‍රෝම් (Down Syndrome) දරුවන්ගේ ස්වභාවය සහ අවශ්‍යතා සලකා බැලීමේදී, ජානමය වෙනස්වීමක් නිසා ඇතිවන බුද්ධිමය සහ කායික වර්ධනයේ ප්‍රමාදතාවයක් දැකිය හැකියි. මෙවැනි දරුවන් සඳහාද විශේෂ අධ්‍යාපන ක්‍රමවේද අවශ්‍ය වෙනවා.
මස්තිෂ්ක ආඝාතය (Cerebral Palsy) සහිත දරුවන්ගේ ස්වභාවය සහ අවශ්‍යතා සලකා බැලීමේදී, මොළයේ ඇතිවන ආබාධයක් නිසා චලනය සහ මාංශ පේශී පාලනය අඩපණ වීමකින් ඔවුන් පෙළෙනවා. මෙවැනි දරුවන් ඇතැම්විට මුළු ජීවිත කාලයම ඇඳක් මත ගත කරනවා වෙන්න පුළුවන්.
ඒ අනුව, මෙවැනි ආබාධ සහිත දරුවන්ගේ තත්ත්වයන් කළමනාකරණය කිරීමට නම් හුදෙක් ඔවුන්ට ආහාරපාන ලබාදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔවුන්ගේ මානසිකත්වය වර්ධනය කිරීමට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර මෙන්ම, කායික හැකියාවන් වර්ධනයට භෞතචිකිත්සක සේවාවන්ද අත්‍යවශ්‍ය වෙනවා.
"අපෙන් පසු ඔවුන්ට කුමක් වේවිද?" දෙමව්පියන්ගේ නිහඬ විලාපය
ආබාධ සහිත දරුවෙකු සිටින පවුලක දෙමාපියන් විඳින මානසික සහ ආර්ථික පීඩාව වචනවලට පෙරළිය නොහැකි තරම් වෙනවා. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික රටාවත් සමග මෙවැනි දරුවෙකුට අවශ්‍ය ඖෂධ, විශේෂිත ආහාර සහ ප්‍රතිකාර ලබාදීම සාමාන්‍ය පවුලකට දරාගත නොහැකි බරක් බව රහසක් නොවෙයි.
මෙහි ඇති බියකරුම මනෝවිද්‍යාත්මක පැතිකඩ වන්නේ "අපෙන් පසු අපේ දරුවාට කුමක් වේවිද?" යනුවෙන් දෙමාපියන් තුළ පවතින සන්තාපයයි. සාමාන්‍ය පාසලකට යාමට හෝ සමාජයේ තනිවම ජීවත් වීමට නොහැකි මෙම දරුවන්, දෙමාපියන්ගේ මරණයෙන් පසු සැබෑ ලෙසම අනාථයින් බවට පත්වීමේ යම් සම්භාවිතාවක් පවතිනවා. කෙසේ නමුත්, රාජ්‍ය යාන්ත්‍රණය යටතේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මෙන්ම, සමාජ සේවා දෙපාර්තමේන්තුව ආබාධ සහිත දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ රැකවරණය වෙනුවෙන් මේ වනවිටත් සිදු කරගෙන යන වැඩපිළිවෙළ අප මහත් සේ අගය කළ යුතුයි. ඔවුන් මෙම සුවිශේෂී මිනිස් කොට්ඨාසයේ අභිවෘද්ධිය සඳහා නිරන්තරයෙන් කැපවී සිටින බව දක්නට ලැබෙනවා.
මෙයද මනෝවිද්‍යා උපදේශන ජාවාරම මෙන් නොවීමට නම්
මේ අතර, පුද්ගලික අංශයෙන් මෙවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී එම ආයතවල ගුණාත්මකභාවය සෙවීම වඩාත් වැදගත් වෙනවා. මන්දයත්, ආබාධ සහිත දරුවන් හෝ වැඩිහිටියන් සිටින ස්ථානවල හදිසි ගිනි ගැනීමකදී පිටවීමේ දොරටු (Fire Exits), බෑවුම් මාවත් (Ramps) සහ රෝද පුටු පහසුකම් තිබිය යුතුයි. හොරණ ඛේදවාචකයෙන් අප දුටුවේ එවැනි කිසිදු පූර්ව සූදානමක් නොතිබීමේ විපාකයයි. ඒ වගේම, මෙවැනි ආබාධ සහිත වූවන් හැසිරවිය යුත්තේ ආදරය මෙන්ම, මනෝවිද්‍යාත්මක පුහුණුව ලත් සේවකයන් විසිනුයි. නමුත් බොහෝ පුද්ගලික මධ්‍යස්ථානවල සිටින්නේ අවම වැටුපට වැඩ කරන, කිසිදු පුහුණුවක් නොමැති පිරිස් වීමත් ඛේදවාචකයක් වෙනවා. ඒ නිසා පුද්ගලික අංශයෙන් ක්‍රියාත්මක වන මෙවැනි ආයතනවල නිසි ලියාපදිංචිය මෙන්ම, නිරන්තර වැටලීම්/අධීක්ෂණ ක්‍රියාවලියක් යටතේ එම ආයතනවල ගුණාත්මකභාවය සොයා බැලීම වඩා වැදගත් වන්නේ, වර්තමානයේ ක්‍රියාත්මක වන මනෝවිද්‍යා උපදේශන ජාවාරම මෙන්ම, මෙවැනි දේවල්ද අනාගතයේදී ජාවාරම් බවට පත්විය හැකි නිසයි.
ඉදිරි මාවත, සමාජ මෙහෙවරක් සහ සාමූහික වගකීමක්
ඒ අනුව, ආබාධ සහිත දරුවන් යනු සමාජයට බරක් නොව, අපගේම කොටසක් වශයෙන් සලකා සමස්ත සමාජයම කටයුතු කළ යුතු කාලය දැන් එලැඹ තිබෙනවා. ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය සහ මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හුදෙක් අනුකම්පාව මත පදනම් වූ පුණ්‍යකර්මයක් පමණක් නොව, අයිතිවාසිකම් පාදක කරගත් ප්‍රවේශයක් ලෙස දැකිය යුතු කාලයද දැන් එලැඹ තිබෙනවා.
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී මොවුන් වෙනුවෙන් විශේෂිත අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම, සෑම දිස්ත්‍රික්කයකම ප්‍රමිතියෙන් යුතු රජයේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වැඩි වශයෙන් පිහිටුවීම සහ පෞද්ගලික අංශයේ දායකත්වය නිසි නියාමනයකට යටත්ව, නීත්‍යානුකූලව ලබා ගැනීම වහාම කළ යුතු වෙනවා. එවැනි සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමෙන් පමණක්ම ඔවුන්ට බියෙන් හා සැකයෙන් තොරව නිදහසේ ජීවත් විය හැකි, දිගුකාලීන පැවැත්මක් සහිත සාධාරණ සමාජයක් බිහිකර ගැනීමට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි. ඒ නිසා ඉදිරියේ තවත් ඛේදවාචකයක් සිදුවන තුරුම බලා නොසිට, යුහුසුළුව ක්‍රියාත්මක වීම සඳහා දැන් දැන්ම කාලය එලැඹ ඇති බව අවසන් වශයෙන් සඳහන් කර සිටිනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

