සබරගමු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කරන ලද “ආයුෂ් ගම්මාන වැඩසටහන” අද (28දා) කෑගල්ල දිඹුල්ගමුව ගම්මානයේ දී සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
ආයුෂ් ගම්මාන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ආයුර්වේද ජීවන දර්ශනය තුළින් නිරෝගී සමාජයක් ඇති කිරීමයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කරගෙන පවුල් 100 ක් සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
එහි දී මසකට වරක් සෑම නිවසක්ම වෛද්‍යවරයෙක් විසින් අධීක්ෂණය කිරීම, මාස 03කට වරක් ජංගම සායන පැවැත්වීම, තෝරාගත් මාතෘකා යටතේ දේශන පැවැත්වීම, යෝග ව්‍යායාම වැඩසටහන් හා සංගීත රසාස්වාද වැඩසටහන් ආදිය පැවැත්වීමට නියමිත වේ.
මේ යටතේ එම ගම්මානවල නිවැසියන් සදහා මැටි වලං කට්ටලයක් ලබා දීම, ඖෂධ මංජුසාවක් පිරිනැමීම, සුදු හදුන් පැල ලබා දීම සහ ඖෂධ පිළිබද අත්පොත් ලබා දීම ආදිය සිදු කෙරුණි.
මෙම වැඩසටහන ඉදිරියේ දී රත්නපුර දිස්ත්‍රික්කය තුළ ද පවුල් ඒකක 100ක් සදහා ක්‍රියාත්මක කිරිමට නියමිත ය.
මෙම අවස්ථාවට කෑගල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් ජයසිංහ, පළාත් ආයුර්වේද කොමසාරිස් ඩග්ලස් පතිරගේ, කෑගල්ල අධීක්ෂණ වෛද්‍ය නිලධාරී එම්.ඊ.රමේෂ්, ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්.නිශාන්ත, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලක්මාලි කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.


