" ගරු ස්වාමීනී ඔබතුමා ඉදිරියේ පෙනී ඉන්නේ විත්තිකාරයෙක් වුණාට, මම පෙනී ඉන්නේ මනමාලයෙක් වෙනුවෙන්, මෙය සමාජ සංවේදී කාරණයක් ස්වාමීනී , ඒ නිසා ගරු ස්වාමීනි මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අධිකරණයේ දැඩි අවධානය යොමු කර , සුදුසු ඇපයක් මත මේ විත්තිකරු මුදා හරින්න කියලා."
විත්ති කූඩුවේ සිටි පුද්ගලයෙක් වෙනුවෙන් නීතිඥ මහත්මයෙක් දැක්වූ අසාමාන්‍ය කරුණු වලට පානදුර අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා මහතාගේ දැඩි අවධානය වගේම අධිකරණයේ එම මොහොතේ සිටි සැමගේම දැඩි අවධානය යොමු විය
නීතිඥ මහතා එලෙස අධිකරණය ඇමතුවේ වරෙන්තු කරුවෙකුගේ මෝසමක් ආපසු කැඳවීම සඳහා නීතිඥ මහත්මියක මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ විත්තිකරුවෙකු දිගින් දිගටම ඒ ආකාරයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම මස 30 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් මීට පෙර ඇපකරු ලෙස ඇප වූ පුද්ගලයා විනාඩියක් යාමට මත්තෙන් නීතිඥවරයා ඉදිරියේ පොඩි දරුවකු මෙන් හඬා වැටෙමින් " අනේ සර් යාලුවා කරපු වැරැද්දකට මම ඔහුට ඇප උනා, උදේ දවල්ට රෑට පොලිසියෙන් ඇවිල්ල මාව හොයනවා.බැරිම තැන මම යාළුවව අද උසාවියට එක්කගෙන ආව සර් ,අනේ බලන්න සර් එයාව රිමාන්ඩ් කළානේ සර්"
තවදුරටත් නීතිඥවරයා ඇමතු එම පුද්ගලයා , තම මිතුරා මේ වන විට විවාහ වී මනමාලයකු වී ඇති බවත් මනමාලිය සමග හනිමුන් ගත කරන අතරවාරයේදී වරෙන්තු ආපසු කැඳවා ගැනීම සඳහා තමාගේ පෙරත්ත මත මනමාලියට සහ දෙමව්පියන්ට දන්වා අධිකරණයට පැමිණි බවත් මනමාලිය මේ වන විට වාද්දුව හෝටලේක කාමරයේ තනිව සිටින බවත් තමන්ටද ඔවුන්ට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් පවසමින් එයට පිළිසරණක් වන ලෙස නීතිඥවරයාගෙන් බැගෑපත්ව හඬා වැටෙමින් කළ ආයාචනය සැලකිල්ලට ගෙනය.
(එහිදී තවදුරටත් ගරු අධිකරණය ඇමතූ නීතිඥ මහතා)
ස්වාමිනි , මොහු දිගින් දිගටම අධිකරණය මගහැරි පුද්ගලයෙක් බවට පිළිගන්නවා. ඒත් ස්වාමීනි මාගේ සේවා දායකයා මේ වන විට මනාලයෙක් . ඔහු මෙම නඩුකරයට පෙනී ඉන්න ඇවිත් තියෙන්නේ සිය අතිනත ගත් මනමාලිය සමඟ හනිමුන් ගත කරන අතරතුරයි.
මේ වන විට මනමාලිය පමණක් වාද්දුව හෝටලයක කාමරයක තනිවම ගත කරනවා ස්වාමීනි
ඔහු ඉකුත් 22 දින විවාහ වෙලා.අදට දින දෙකයි. මොහු බන්ධනාගාර ගත වුවහොත් ඇතිවන තත්ත්වය මා අමුතුවෙන් කිව යුතු නැහැ ස්වාමීනී,
මේ ලෝකයේ ජීවත්වන පුද්ගලයෙකු ජීවිතයේ ලබන වැදගත්ම සේම ලස්සනම දවස විවාහ ගිවිසගත් දවස , ඒ වගේම ඊටත් එහා ඕනෑම යුවතියකට අමතක කරන්න බැරි ලස්සනම දවස ,මංගල දවස ඒ වගේම හනිමුන් ගත කරන දවස. අද මොහු බන්ධනාගාර ගත වුවහොත්. මීට දින කීපයකට පෙර ඇරඹි පවුල් සංස්ථාව පමණක් නොවේ. ජීවිතත් නවතින්න ඉඩ තියෙනවා ස්වාමීනී, ඒ තරමටම මෙම ප්රශ්නය සංවේදී මානුෂික ප්‍රශ්නයක් කිව්වොත් මම නිවැරදියි කියලා හිතනවා ස්වාමීනී
මාගේ සේවා දායකයාගේ වර්තමාන සැබෑ තත්ත්වය පිළිබඳ මා වාචිකව කියන කරුණු සත්‍ය බව සනාථ කිරීම සඳහා මාගේ සේවා දායකයාගේ ව්වාහ සහතිකය , ඡායාරූප ලෙස තෑන්ක්යූ කාඩ් පත ස්වාමීනී අධිකරණය වෙත ඉදිරිපත් කරනවා , මා පැවසූ සියලු කරුණු කාරණා ගැන සලකා බලා සුදුසු ඇප මත මුදා හරින මෙන් ඉතා ගෞරවයෙන් ඇයද සිටිනවා ස්වාමීනී.
නීතිඥ අරුණ දීපාල් මහතාගේ විනාඩි කිහිපයක් තුල කඩිනම් දීර්ඝ කරුණු දැක්වීම හමුවේ අදාල විත්තිකරු රුපියල් දස දහසක ඇපකරයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා මහතා නියෝග කළේය