"පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සදහා රුපියල් 45/= පාලන මිලක් ගැසට් කර තිබෙනවා. එසේ කලේ කුකුළු නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා කිරීම සදහා යි. පාලන මිල ට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කිරීමට පියවර ගතහොත් අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නවා." යැයි පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල දී මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසිය.
"පසුගිය සති දෙක තුනක කාලය තුළ බිත්තර සදහා අධික මුදලක් පාරිභෝගික ජනතාවට දැරීමට සිදු වුවා. සමාජ මාධ්‍ය වල ගියා බිත්තර කන්න එපා කියලා . එලෙස බිත්තර කන්න එපා කියලා ජනමතයක් හැදෙද්දී මම මේ පිළිබඳව සොයා බලන්න පාරිභෝගික අධිකාරිය ට උපදෙස් දුන්නා. පාරිභෝගික අධිකාරියේ මිළ පිළිබඳ ව විශේෂඥයින් විවිධ පැතිකඩ ඔස්සේ සොයා බලා තමයි මෙම පියවර ගත්තේ.
මෙයින් නිශ්පාදකයාට හෝ පාරිභෝගිකයාට අසාධාරණයක් වෙන්න නෑ. රුපියල් 20/= ට25/= තිබ්බ බිත්තර වලට තමයි අපි රුපියල් 45/= ක පාලන මිලක් දැම්මේ. පසු ගිය කාළේ බිත්තරයක මිළ රුපියල් 60/ට 65/= ට ගියා. නිෂ්පාදකයාගේ සියළුම වියදම් වගේම ණය සදහා ගත් මුදල් වලට පොළිය පවා ගණනය කර බලලයි මිළ නියම කරලා තියෙන්නේ.
සමහර බිත්තර නිෂ්පාදකයින් කියනවා පසුගිය කාලයේ පාඩු වුණා ඒක නිසා එය පියව ගන්න මිළ වැඩි කරා කියලා.කාලයකට යම් ව්‍යාපාරය පසු බැසීමක් වෙනවා. එය සාමාන්‍ය තත්වයක්. එම ව්‍යාපාර සාමාන්‍ය තත්වයට පත් වු පසු ඒ අනුව කටයුතු කරනවා ඇරෙන්න පසුගිය කාලය වෙනුවෙන් ලාභ උපයන ක්‍රමයක් නෑ.
බිත්තර ආනයනය කරන්න සිදු වුවහොත් ඒ වෙන්නේ බිත්තර නිෂ්පාදකයාගේ හැසිරීම මතයි. කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය නිදහසේ වැඩ කටයුතු කරන ආයතනයක්. රුපියල් 45/= වඩා වැඩි මිලට බිත්තර වික්කොත් ඒ අය කටයුතු කරන ආකාරය ගැන දන්නවා. එසේ කටයුතු නොකලොත් විතරයි මට බලන්න සිද්ධ වෙන්නේ. අපි තීන්දුව ක් ගත්තොත් ඒ තීන්දුව ට අනුව තමයි වැඩ කරන්නේ. ගැසට් රිවස් කලොත් අපි තමයි රිවස් වෙන්න ඕනේ."
ප්‍රසංග පෙරේරා