අද ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් "එට්කා" කියන විට "ඉක්කා ගහන" තත්ත්වයට පත්ව ඇති බවත් මිල්කෝ සමාගම, ඉන්දියාවේ අමුල් සමාගමට විකුණා දැමීම ටෙන්ඩර් පටිපාටියක් අනුව සිදු නොකිරීම පමණක් ඔවුන්ට ප්‍රශ්නයක් වී ඇති බවත් පෙන්වා දුන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා ටෙන්ඩර් කර හෝ නොකර අපේ රටේ වටිනා සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීම නිවැරදි දැයි ප්‍රශ්න කර සිටියි.
ඊයේ (11) සවස පිළියන්දල, සුවාරපොළ දී පැවති "9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?" යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
"මේ ආර්ථික අර්බුදය ඇතුළේ විදුලි බල මණ්ඩලය කොටස්වලට කඩලා විකුණන්නයි සූදානම. ඒක ගන්න ඇවිල්ලා තියෙන්නේ ටාටා, අදානි ඇතුළු මහා ඉන්දියානු සමාගම්වලින්. මේකෙන් අවසානයේදී වෙන්නේ ඉන්දියාව අතට අපේ රටේ විදුලිය නිපදවීමේ සහ බෙදාහැරීමේ බලය යන එක. ඊට පස්සේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් ඉන්දියාව අසතුටු අයෙකු බලයට ආවොත් ඔවුන්ට මේ 'විදුලි බලය' සමඟ ලැබෙන 'හයියෙන්' ඒ පාලකයාව එළවා දමන්න හැකියාව ලැබෙනවා.
මේ විදිහට බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළුවොත් එවැනි ඉරණමකට ශ්‍රී ලංකාව පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි ටෙලිකොම් සමාගම සතු රජයේ කොටස් මිලදී ගන්න හදන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ ගජ මිතුරෙකු වන අදානි. මේක එතැනින් නතර වෙන්නේ නැහැ; ඉන්දියානු අමුල් සමාගම මිල්කෝ සමාගම පමණක් නොවෙයි පශුසම්පත් සංවර්ධන මණ්ඩලය සතු සරුසාර ගොවිපොළවල් 33ක් සමග මෙරට ඉඩම් අක්කර 28,000ක් අත්පත් කරගැනීමට සූදානමින් ඉන්නවා.
දැන් බලන්න, අනුර දිසානායක මහත්තයාට ඉන්දියාවට එන්න කියලා අමුල් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකුත් හදලා දෙනවා. ඒ අස්සේ එයාගේ ගෝලයෝ, 'මිල්කෝ සමාගම අමුල්ට විකුණන්න එපා!' කියලා මිල්කෝ සමාගම ඉදිරිපිට පෙත්සමක් අත්සන් කරනවා. මේ විකාරය දැකපු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු 'අනුර ඩුමුක අමුල් අමුල්' කියා පෝස්ට් එකක් දාලා තිබුණා.

එහෙම හිතෙන එක සාධාරණයිනේ. මේ වගේ 'නරි නාටක' කවදාද අපි දැක්කේ? අමුල් බලලා ඇවිත් ඔවුන් කියනවා, 'මිල්කෝ එක ටෙන්ඩර් නොකර ඕගොල්ලන්ට දෙන එකට නම් අපි කැමති නැහැ, කියලා අපි අමුල් හිමිකරුවන්ට කීවා' කියලා. දැන් ජවිපෙට තියෙන ප්රශ්නය ටෙන්ඩර් නොකිරීම ද? ටෙන්ඩර් කරලා හෝ නොකර අපේ රටේ වටිනා සම්පත් කුණුකොල්ලෙට විකුණන එක හරිද? ඒක අමුතු ප්‍රතිපත්තියක්නේ.
දැන් ඒ විදිහට විදුලි බල පද්ධතිය, ටෙලිකොම් එක, මිල්කෝ සමාගම ඉන්දියානු සමාගම්වලට විකිණෙන අතරේ වඩාත්ම භයානක සිදුවීමක් කඩිනමින් සිදුවෙමින් තිබෙනවා. ඒ තමයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීම. මීට ඉහතදී එට්කා ගිවිසුම අත්සන් කිරීමට එවකට පාලකයන් උත්සාහ කළත් අපි විරෝධය දක්වා එය වළක්වා ගත්තා.
එට්කා ගිවිසුම අත්සන් කළාම ඉන්දියානුවන්ට ශ්‍රී ලංකා රැකියා වෙළඳපොළ තුළ සමාන ඉඩකඩක් හැදෙනවා. ටෙලිකොම් සමාගම අදානිට ලැබුණාම එහි පුරප්පාඩු ඉන්දියානුවන්ගෙන් පුරවාවි. ඒ වගේම විදුලි බල මණ්ඩලය කෑලි කඩලා විකුණූ පසු මිලදී ගන්නා ඉන්දියානු සමාගම්වලටත් තමන්ගේ පුරප්පාඩු සඳහා ඉන්දියානු පුරවැසියන් බඳවා ගැනීමට හැකියාව ලැබෙනවා. එට්කා ගිවිසුම අනුව ලංකාවේ අපට ඒ කිසිවකට විරුද්ධ වීමට නීත්‍යනුකූල ඉඩක් නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිල්ලර හා තොග වෙළදාම සඳහාත් ඉන්දියානුවන්ට සමාන ඉඩකඩක් ලැබෙනවා.
දැන් මේ අත්සන් කරන්න යන එට්කා ගිවිසුම ගැන 'අනුර ඩුමුක අමුල් අමුල්' කට්ටිය වචනයක්වත් කතාකරනවාද ? ඇයි එට්කා කියනකොට එයාලා 'ඉක්කා' ගහන්නෙ? ඒ ගැන වචනයක් කතා නොකළාට 'මූ හොරා! අරූ හොරා!' කියලා හරියට බලා හිටියා වගේ කියන්න නම් දන්නවා. ජනතාව 'ජීවත්වීම' කියන ප්රශ්නය ඇතුළේ කොටු වුණු මේ වෙලාවේ වත්මන් පාලකයන් මෙවැනි ගිවිසුම් අත්සන් කරලා අනාගත පරපුරට උපන්බිමෙන් බිම් අඟලක් හෝ ලබා ගැනීමේ හිමිකම අහිමි කරමින් සිටින බව අපි තේරුම්ගත යුතුයි."