තක්කාලි අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව අනුරාධපුර දිස්ත්රික්කයේ ගොවීන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ඒ වෙළඳපොළේ තක්කාලි සඳහා නිසි මිලක් නොමැති වීම හේතුවෙනි.
ගොවීන් පවසන්නේ පසුගිය දිනවලදී රුපියල් 600ත් 700ත් අතර ඉහළ මිලකට අලෙවි වූ තක්කාලි කිලෝවක මිල, මේ වන විට රුපියල් 70ක් වැනි ඉතා අඩු මට්ටමක් දක්වා පහත වැටී ඇති බවයි.
පවතින මිලට අස්වනු අලෙවි කිරීමෙන් තමන්ට අධික පාඩුවක් සිදුවන බව පවසන ගොවීන්, මේ හේතුව නිසා වගාවන්හි අස්වනු නෙළීම පවා අතහැර දැමීමට තීරණය කර ඇත. වගාව ආරම්භ කළ දින සිට අස්වනු නෙළීම දක්වා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත්, පවතින මිල යටතේ අස්වනු නෙළීම සඳහා වැයවන කම්කරු කුලියවත් පියවා ගැනීමට නොහැකි බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
මෙම තත්ත්වය හමුවේ අක්කර ගණනින් වගා කරන ලද තක්කාලි වගා බිම් මේ වන විට පාළු වීමට හැර තිබෙන ආකාරයක් දැකගත හැකිය.
චින්තක බාලසූරිය
