ශ්රී ලංකාවට පැමිණ පැවිදි භාවය ලබා කොහුවල ප්රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බංග්ලාදේශ ජාතික හිමි නමක් සතු රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (21ෙදා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි .
පැමිණිලිකාර හිමි නම බංගලදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු වන අතර ලංකාවට පැමිණ අභයාරාමයේ පැවිදි භාවයට පත්ව දිවයිනේ පන්සල් කීපයක ඉගෙනුම ලබා දැනට කොහුවල විහාරස්ථානයක වැඩ වාසය කරන හිමි නමක් බව පොලිසිය කියයි.
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හඳුනාගත් පුද්ගලයෙකු විසින් ජර්මනියට හෝ ඇමරිකාවට යාම සඳහා තමන්ට සංචාරක වීසා පහසුකම් සලසා දෙන බව පැවසීමෙන් අනතුරුව, හිතවත්කමක් ගොඩ නඟා ගෙන අවස්ථා දෙකකදී සැකකරුට රුපියල් ලක්ෂ 6ක මුදලක් බැර කළ බව එම බංගලාදේශ ජාතික හිමිනම සිදු කල පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්ව ඇතැයි පොලීසිය කියයි.
පසුව එම පුද්ගලයා විසින් පොරොන්දු වූ පරිදි විදේශ සංචාර සඳහා වීසා ලබා නොදුන් බවත්, දිගින් දිගටම ආපසු මුදල් ලබා නොදී විශ්වාසය කඩ කිරීම හේතුවෙන් මෙම හිමිනම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි .
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.