මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මුහුණු පොතේ දැන්වීමක් පළ කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු පිරිසක් දොලේලන්ද ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පුද්ගලයෙකු ඝාතනය කර පලා ගොස් ඇතැයි දොඩම්ගොඩ පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇති දොඩංගොඩ දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මාතර ආරච්චිගේ දිමුත් චාමික මැඡික් තිස්හත් හැවිරිදි එක්දරු පියෙකු බව පොලීසිය කියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා පෙරේදා රාත්‍රී නිවස ආසන්නයේ මත්පැන් සාදයකට ගොස් යළි නිවසට පැමිණ සිටියදී නිවසේ දොර කඩාගෙන පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ඇතුළු පිරිස තියුණු ආයුධවලින් පහර දී පළා ගොස් තිබූ බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු වන මතුගම ශාන් නැමැත්තාගේ පාර්ශවයේ අයෙකු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුද එම පාර්ශ්වයේ සිට විරසකව ඉවත් වූ අයෙක් බවත් පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම ගමට හිසරදයක් බවට මුහුණු පොතේ දැන්වීමක් පළ කිරීම හේතුවෙන් උරණව මෙම ඝාතනය සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මීට දින කිහිපයකට ඉහත දී ඝාතනයට ලක් වූ පුද්ගලයා දොඩම්ගොඩ පොලිසියට පැමිණ යළි නිවස කරා යාම සඳහා පැමිණීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තවත් කීපදෙනකු සමඟ පැමිණ ඔහුට පහර දී පොලිසිය ඉදිරිපිට මාර්ගයේ දන ගස්සවා තිබූ බවද එම නිලධාරියා පැවැසීය. දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි