ඩොලරයට සාපේක්ෂව මේ වන විට ශක්තිමත්ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල මේ වන විට පත්ව ඇතත් වසර අවසන් විට ශ්‍රී ලංකා රුපියල යළිත් පහත වැටීමක් සිදුවෙනු ඇතැයි ෆිච් රේටින්ග් ආයතනය පුරෝකතනය කරයි. ඒ අනුව වසර අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 20කින් පමණ අවප්‍රමාණය වනු ඇතැයි එම ආයතනය පවසයි.
ෆිච් රේටින්ග් ආයතනයේ අවධානම් විශ්ලේෂකයෙක් වන සේ වැංග් ටින් බ්ලූම්බර්ග් පුවත් සේවයට පවසා ඇත්තේ මේ වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මුල්‍ය පහසුකම ලැබෙනු ඇතැයි සුබවාදීම දැක්කත් දුර්වල වන ආර්ථික තත්ත්වයන් හා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ රැඳී සිටීම බලධාරීන්ට අභියෝගයක් විය හැකි බවයි.
ෆිච් ආයතනය ඇස්තමේන්තු ගත කරන්නේ වසර අවසන් වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 390ක් දක්වා අවප්‍රමාණය වීමට ඉඩ ඇති බවයි. "ශ්‍රී ලංකාවට තවමත් සැලකිය යුතු බාහිර ණය ආපසු ගෙවීමේ අවශ්‍යතා ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ එහි විදේශ සංචිත ගොඩනගා ගැනීමට අවශ්‍ය වනු ඇත, එය විනිමය අනුපාතිකය මත අවාසිදායක පීඩනයක් ඇති කරයි" යනුවෙන් ෆිච් ආයතනය පවසයි.