ළදරු පාසලකට ගියානම් මා පුද්ගලයකු ලෙස අදටත් වඩා සැළසුම් සහගත වෙනවා
"වර්ථමානයේ වගේ අතීතයේ ළදරු පාසල් කියලා දෙයක් තිබුණේ නැහැ. අපි කවදාවත් ළදරු පාසලකට ගියේ නෑ. ඇත්තටම මම ඒ ගැන අද දුක්වෙනවා. එදා ළදරු පාසලකට ගියානම් මා පුද්ගලයකු ලෙස අදටත් වඩා සැළසුම් සහගත වෙනවා" යැයි වැවිළි සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කීවේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව මගින් අද (01) ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක දී අදහස් දක්වමිනි. ගාල්ල, කිතුලම්පිටිය, ආනන්ද විද්‍යාලයේ දී මෙම උත්සවය පැවැත්විණි. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මෙසේ ද කීවේය.
"අද ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය දෙකම යෙදී තිබෙනවා. ඇත්තටම අද වැඩිහිටියන් හැටියට ඉන්න අපි එදා ළදරු පාසල් ගියේ නෑ. ඒ කාලේ පූර්ව ළමාවිය සංවර්ධන වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. අපිට ඒ අවස්ථාව නොමැතිවීම ගැන දුකක් තිබෙනවා. ශ්‍රී ලංකාව නිදහස ලබද්දී අපේ රටේ 58%ක් පාසල් අධ්‍යාපනය ලබා තිබුණේ නැහැ. 42%ක් පමණයි පාසල් අධ්‍යාපනය ලැබුවේ. අපේ මේ ගාල්ලෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගියපු ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ නිසා සියලු දෙනාට අධ්‍යාපන අවස්ථා ලැබුණා. අද සියලු දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය වෙලා. එ්ක ඉතාමත් සාධනීය කරුණක්. ඒ වගේම ළමයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. දරුවා මේ රටේ අනාගතය විතරක් නෙවෙයි, අවුරුදු 10ක් විතර වෙනවිට අපි මේ දරුවන්ට නිවසේ වැදගත් තීරණ ගන්නා සාකච්ඡාවලට දරුවන් සම්බන්ධ කරගන්න ඕනෑ. දෙමාපියන්ට වඩා ඉදිරියෙන් දරුවන් නිතරම ඉන්නවා. ඒ නිසා දරුවන් ඊට සම්බන්ධ කරගන්න ඕනේ. එවිට දරුවාගේ පෞරුෂය ගොඩනැගීමත් සමඟ සියලු දේ යහපත් වෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

