හෝටන්තැන්නේ ගෝනුන්ට කෑම දුන්නොත් නිතිය
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන ඇතැම් දේශීය සංචාරකයන් එහි වෙසෙන කඳුකර ගෝනුන්ට ආහාර පාන ලබාදීම් හා ඔවුන් අසලට ගොස් ස්පර්ශ කිරීමට පෙළෙඹෙන අවස්ථා නිරීක්ෂණයට ලක්ව ඇති බව උඩරට පරිසරවේදීහු පවසති.
උද්‍යාන නීතිරීති කඩ කරමින් මෙසේ වන සතුන් හට ආහාර වර්ග ලබාදීමේ අවස්ථා හා ස්පර්ශ කරන අයුරු දැක්වෙන ඡායාරූප හා වීඩියෝ පට රැගෙන ඒවා සමාජ මාධ්‍ය වෙත යොමු කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත්, එවැනි විවිධ ආහාර පාන වර්ග ලබා දීමෙන් සතුන් ඒවා නැවත බලාපොරොත්තුවෙන් මාර්ග අසලට පැමිණීමට පුරුදුව වීමෙන් එම සතුන්ගේ ජීවිත අනතුරුවලට ලක් වීමේ ඉඩකඩක් ඇතැයි ඔවුහු කියති.
ලුණු, සීනි, මිරිස් හා තෙල් අධික මිනිස් ආහාර වර්ග වන සතුන්ගේ ජීර්ණ පද්ධතිය හානියට ලක්ව එම සතුන් ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි බවත්, ආහාර සමග හා උද්‍යානයට අවිධිමත් ලෙස බැහැර කරන පොලිතින් හා ප්ලාස්ටීක් ඇසුරුම් දවටන වන සතුන් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ ජීවිත පවා හානියට ලක්විය හැකි බව උඩරට පරිසරවේදීහු පෙන්වා දෙති.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වෙසෙන කඳුකර ගෝනුන්ට හා අනෙකුත් සත්ත්ව ප්‍රජාව හට ආහාර ලබා දීමෙන් වළකින ලෙසත්, එම සතුන් ස්පර්ශ කිරීමට යාමෙන් අනතුරු සිදු විය හැකි බවත්, ජාතික උද්‍යාන නීතිරීති උල්ලංඝනය කරමින් එසේ ආහාර ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බව වනජීවී නිලධාරීහු පවසති.
මෙසේ කඳුකර ගෝනුන්ට කෑම ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමේදී ඔවුන් හට විශාල දඩ මුදල් ගෙවීමට සිදු වන බවත්, අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවීමෙන් විවිධ අපහසුතාවයන්ට හා දුෂ්කරතාවයන්ට ලක් විය හැකි බැවින් වනෝද්‍යානයේ ඇති නීතිරීති වලට අනුගත වෙමින් වනෝද්‍යානය තුළ සංචාරයේ නියැලෙන ලෙස වනජීවී නිලධාරීහු දේශීය සංචාරකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
