රට කඩා වැටී පෝලිම් ඇතිවී තිබෙන මොහොතක සොරාකෑම සඳහා පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති වැඩසටහනකින් අනතුරුව අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර රටේ අයිතිය එක් පවුලක් විසින් සින්නක්කරව අයිතිකර ගනිමින් රට පාලනය කළ නිසා සමස්ත රටම කඩා වැටී තිබෙන බව සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
"අද තිබෙන ආර්ථික කඩා වැටීමට දේශපාලන පසුබිමක් තිබෙනවාමයි. දේශපාලන අසාර්ථකත්වයක් තිබෙනවාමයි. අවුරුදු දෙකහමාරක් තුළ මමත්වය රජකරවන්නට මේ ක්රාමය ඉවහල් වුණා. ඒ වගේම යම් යම් අවස්ථාවන්වලදී මේ රටේ යම් යම් ඉලක්ක සම්පූර්ණ කරන්නටත් මේ ක්‍රමය ඉවහල් වුණා කියලා යමෙකුට තර්ක කරන්න පුළුවන්.
ඒවගෙත් සාධාරණත්වයන් තිබෙනවා. මේ ප්‍රතිසංස්කරණය සඳහා තිබෙන කවුළුව කෙතරම් කාලයක් තිබෙයිද? කෙතරම් කාලයක් මෙවන් මානසිකත්වයක රටේ ජනතාව ඉඳියිද? කෙතරම් කාලායක් මේ සාමකාමී තත්ත්වය මෙහෙන්මම ඉදිරියට තිබෙයිද? මේ ප්රශ්නය ගැන අපි සංවේදී වෙන්න ඕන.
සියලු දෙනාගේම පොදු එකඟතාවක් තිබෙනවා ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, වර්ගවාදයෙන්, වර්ණවාදයෙන්, ඒකාධිපතීත්වයකින්, අන්තවාදයෙන්, කුලවාදයෙන් රටකට ඉදිරියට යන්න බෑ.
ඒ පොදු පදනම මත අපි සියලුදෙනා ඉන්න ඕන. ඇත්ත වශයෙන්ම අද මේ රට තුළ තනි බලයත්, තනි බලය තුළ ලුම්පන් ධනවාදය ඉස්මතු වෙලා පවුල් ධනවාදය, ගජමිතුරු ධනවාදය, මුළු රටේම අයිතිය සින්නක්කර අයිතියකින් එක පවුලක් අයිති කරගෙන තමන්ගේ බූදලයක් ලෙස රට පාලනය කළ නිසා අද මුළු රටම කඩා වැටිලා.
ඒත් කඩා වැටුනු රටේ ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කිරිපිටි පෝලිම් වැනි සෑම පෝලිමක්ම තිබෙන අතරතුර, විදුලිය කපන අන්ධකාරයේ සිටින මොහොතක අදටත් මහ දවල් හොරාකනවා. හොරාකන පනත් පාර්ලිමේන්තුවට ගේනවා. කෝප් කමිටුවට ගිහින් එක කතාවක් කරලා කවුරු හරි බලපෑම් කළාට පස්සේ ඒක ඉල්ලා අස්කර ගන්නවා. අවුරුදු දෙකහමාරක් රජය අනුගමනය කළ එකම පිළිවෙත තමයි රාජපක්ෂවාදයයි, පවුල්වාදයයි. එලෙස පවුල්වාදයකට, රාජපක්ෂවාදයකට රටක් ඉදිරියට ගෙනියන්න බෑ" යනුවෙන් සඳහන් කළේය.