තම ලොරියේ හිඟ ෆිනෑන්ස් වාරික ගෙවීම සඳහා කුරුණෑගල නගරයේ පෞද්ගලික බැංකුවක තැම්පත් කිරීමට පුද්ගලයෙකු රැගෙන ආ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් සොරකම් කළ බව කියන අයෙකු සොරකම් කරන ලද මුදල් වලින් කොටසක්ද සමඟ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
වෘත්තීයෙන් රියැදුරෙකු වන සැකකරු ඉබ්බාගමුව බෝගමුව හංගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මල්ලවපිටිය දොරටියාව ප්රදේශයේ පෞද්ගලික වත්තක කළමණාකරුවෙකු බැංකුවෙහි තැම්පත් කිරීම සඳහා රැගෙන විත් තිබූ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් එම බැංකුව තුළදීම වතු කළමණාකරුට නොදැනෙන ආකාරයට සැකකරු විසින් සොරකම් කර තිබූ බව පොලීසිය සඳහන් කළේය.
සොරාගත් මුදලින් රුපියල් දෙලක්ෂ හැත්තෑ පන් දහසක මුදලක් සැකකරුට අයත් ලොරියෙහි හිඟ ෆිනෑන්ස් වාරික ගෙවීමට යොදාගෙන තිබූ බවද ඉන් පසුව මුදල් තිබූ බෑගය ඉබ්බාගමුව නගරයේ ඉදිකරගෙන යන ගොඩනැගිල්ලක තිබෙන වැසිකිළි වලකට දමා තිබූ බවද කියයි.
කුරුණෑගල නගරයේ ඇති සීසීටීවී කැමරා දර්ශන සහ ත්රීරෝද රථ රියැදුරන්ගෙන් ලබා ගත් තොරතුරු උපයෝගී කරගෙන දිනක් ඇතුළතදී සැකකරු අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්වී තිබේ.