රජයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තහවුරු කළේය.
රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත්කළ තීන්දුවක් මඟින් රජයේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තහවුරු කළේය.
නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබීය”
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, සහ දිලිප් නවාස් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචන පෙත්සම සලකා බැලිණී.
නීතිපතිවරයා ගොනු කළ මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යා ද සොයිසා ඇතුළු පිරිසක් නම් කර ඇත.
වයස අවුරුදු 60දී රාජ්‍ය සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය හෙද නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම වළකාලන්නැයි ඉල්ලමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යා ද සොයිසා ඇතුළු පිරිසක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව හෙද නිලධාරීන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ අතර එම නියෝගයෙන් අගතියට පත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබිණී.
අභියාචනාධිකරණයෙන් නිකුත් කර ඇති නියෝගය බලරහිත කරන ලෙස හා පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු අභියාචනාධිකරණයෙන් නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියොගයක් නිකුත් කරන්නැයි නීතිපතිවරයා අදාළ එම අභියාචන පෙත්සමෙන් ඉල්ලා තිබිණී.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම යළි විභාගයට ගන්නා ලෙසද නියෝග කළේය.
පෙත්සම්කාර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ රුවන්ත කුරේ මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැදි මහත්මිය සමග අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විකුම් ද ආබෘ මහතා පෙනී සිටියා.