ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28දෙනකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම හෙට (11) පැවැත්විමට නියමිතව ඇත.
මේ සඳහා ඡන්ද දායකයින් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
හෙට (11) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 47කදී මෙම ඡන්දය පැවැත්විමට සියලු කටයුතු සූදානම් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ පසු ඡන්ද පොළදීම ඡන්දය ගණන් කර රාත්‍රි 10.00ට පෙර ප්‍රතිපල නිකුත් කිරීමට හැකියාව ඇති බවද තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කරයි.
මැතිවරණයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වන ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් ඡන්ද මධ්‍යස්ථාන 47 සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරිම අද (10) උදෑසන සිදු කෙරිණ.
ඇල්පිටිය මැතිවරණයේ රාජකාරි සඳහා යොදවා ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 750ක් පමණ වන අතර ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 800ක පමණ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයෝ 155දෙනෙකු ඉදිරිපත්ව සිටිති. 2018 වසරේ අප්‍රේල් මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත්වූ ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය සම්බන්ධයෙන් විරෝධතාවයක් මතුවිය. එහිදි පක්ෂය විසින් නම් කරන ලද නියෝජිතයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් තේරීම් භාර නිලධාරීවරයා වෙත නාමයෝජනා පත්‍රය භාර දීම මෙම විරෝධතාවයට හේතුව ලෙස සඳහන් විය.
විරෝධතාව සලකා බැලීමෙන් පසු එම නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සමක් හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට වාරණ නියෝගයක් නිකුත් කෙරිණ. පසුගිය අගෝස්තු 30වන දින එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීමෙන් අනතුරුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය සඳහා දින නියම කිරීමට මැතිවරණ කොමිසමට නියෝග කළේය.
සිරංගිකා ලොකුකරවිට

