හුරුළුවැව සමුපකාරයේ වසර 20ක පාලන ඒකාධිකාරය නිමාවෙයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්රබලතම සමුපකාර සමිතියක් වන ගලෙන්බිඳුණුවැව, සීමාසහිත හුරුළුවැව විවිධ සේවා සමුපකාර සමිතියේ වසර 20ක දීර්ඝ පාලන යුගය නිමාවට පත් කරමින්, ජාතික ජන බලවේගය නියෝජනය කරන නව පාලක මණ්ඩලය ඊ (12) නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කරන ලදී.
ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩමවා සිදුකළ ආශිර්වාද පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, මංගල පොල්තෙල් පහන දල්වා නව සභාපති ජයනාත් රාජපක්ෂ මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සිය ධූරයන්හි වැඩකටයුතු භාර ගැනීම සමිති මූලස්ථානයේදී සිදු විය.
මෙම පත්වීමත් සමඟ වසර 20කට ආසන්න කාලයක් පුරා වෙනත් කිසිවෙකුට සභාපති ධූරය හොබවන්නට ඉඩ නොතබමින්, අඛණ්ඩව සමිතිය පාලනය කළ ඒ. කොඩිතුවක්කු මහතාගේ බලය සහමුලින්ම බිඳ වැටී තිබේ. හිටපු සභාපතිවරයා මෙවරද තනතුරක් දිනාගැනීමේ අපේක්ෂාවෙන් අධ්යක්ෂ මණ්ඩලය සඳහා තරග කළද, සාමාජික ජනතාව ඔහු කෙරෙහි තිබූ විශ්වාසය අත්හැරීම හේතුවෙන් ඔහුට කිසිදු තනතුරක් දිනා ගැනීමට නොහැකි විය. දිස්ත්‍රික්කයේ සමුපකාර පාලක මණ්ඩලයක් මෙතරම් ඉක්මනින් හා නිතරගයෙන් පත් වූ පළමු අවස්ථාව මෙය බව ජ්‍යෙෂ්ඨ සමුපකාර නිලධාරී අසංග කුමාර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට එක් වූ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. තිලකසිරි මහතා අදහස් දක්වමින් කියා සිටියේ, රජයේ නව වැඩපිළිවෙළට ගැලපෙන ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්රබලතම සමුපකාරයක බලය ජාතික ජන බලවේගය සතු වීම ඉතා වැදගත් බවයි. ප්‍රාදේශික 14ක් සහ ගම්මාන 100කට අධික සංඛ්‍යාවක් ආවරණය වන මෙම සමිතිය හරහා ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉදිරියේදී උපරිමයෙන් කැපවන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
"අපේ ප්‍රධාන ඉලක්කය ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා සමුපකාර ව්‍යාපාරය නැවත සක්‍රීය කිරීමයි" යනුවෙන් නව සභාපති ජයනාත් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
නව පාලක මණ්ඩලය ලෙස S.J.S. රාජපක්ෂ මහතා (සභාපති), P.B. සෙනවිරත්න දිසානායක, R.W. සමරනායක රාජපක්ෂ, W.H.M. නිලමේ, P.M. ජයන්ති රත්න (මහත්මිය), P. සුගතදාස සහ S. කරුණාතිලක යන මහත්ම මහත්මීන් අද දින සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. තිලකසිරි මහතා, ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ ප්‍රධාන ගොවි සංවිධාන නායකයින් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.
[ගලෙන්බිඳුණුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය]

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

