කුරුණෑගල ප්රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (14දා) පස්වරුවේ සිරුරට ගිනි තියා ගැනීමෙන් තුවාල ලැබූ හිටපු යුද හමුදා සෙබලෙකු ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
ගලේවෙල දේවහුව ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු භූමිතෙල් හලාගෙන සිරුරට ගිනි තබාගෙන ඇති බවද එම අවස්ථාවේදී අසල සිටි කීප දෙනෙකු වහා ඉදිරිපත්වී ගිනි ඇවිලෙමින් තිබූ ඇඳුම් ගලවා ගින්න නිවා ඔහුගේ ජීවිතය බේරාගෙන තිබූ බවද පොලීසිය කියයි.
මේ හමුදා සෙබලා විනය විරෝධී ක්රියාවක් හේතුවෙන් තාවකාලිකව යුද හමුදාවෙන් ඉවත් කර සිටි අයෙකු බවද ඒ හේතුවෙන් ඔහුට අඩ වැටුපක් ගෙවමින් සිට පසුව එම වැටුපද ගෙවීම හමුදාවෙන් නවතා දමා ඇති බවද කියයි.
හමුදාවෙන් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ කළකිරීම මත සහ කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහව අධිකරණයෙහි ඔහුට එරෙහිව ඇති නඩුවකට පෙනී සිටීම සඳහා මුදල් නැති බව පවසමින් මෙසේ දිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බවද වාර්තාවේ.
ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුණෑගල මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාගේ උපදෙස් අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.