හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන අල්ලා ගෙන තිබූ බව කියන වනාතවිල්ලුව වීරක්කොඩි චෝලයි රක්ෂිත වනාන්තරයට අයත් අක්කර 165 ක ඉඩම වන සංරක්ෂක ජනරාල්වරයා වෙත වහාම ආපසු භාර දීමට පුත්තලම මහේස්ත්රාත් මිහිල් සතුරුසිංහ මහතා නියම කළේය.
රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම ආපසු ලබා ගැනීම සඳහා නෙරපිමේ නියෝගයක් නිකුත් කරන්නැයි වන සංරක්ෂක ජනරාල්වරයා වෙනුවෙන් පුත්තලම අඩවි වන නිලධාරිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්රාත්වරයා එලෙස නියම කළේය.
පුත්තලම දිස්ත්රික්කයේ වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වීරක්කොඩි චෝලයි රක්ෂිතයට අයත් ඉඩම් පිටස්තර පුද්ගලයින් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට පුත්තලම අඩවි වන නිලධාරි වරයා විසින් පුත්තලම මහේස්ත්රාත් අධිකරණයේ නඩු ගොනු කොට තිබිණි.
වීරක්කොඩි චෝලයි රක්ෂිතයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිටස්තර පුද්ගලයින් ඉන් නෙරපා රක්ෂිතයට අයත් ඉඩම් තමුන් වෙත බාරදීමට එම ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පුද්ගලයින්ට නියම කරන්නැයි ඉල්ලමින් මෙලෙස නඩු පවරා තිබිණි.
රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ පුත්තලම අඩවිවන නිලධාරවරයා පැවරූ නඩු සම්බන්ධයෙන් දීර්ඝ විභාගයක් පැවැත් වූ පුත්තලම මහේස්ත්රාත් මිහිල් සතුරුසිංහ මහතා රක්ෂිත වනාන්තරය බලහත්කාරයෙන් ඉල්ලා අල්ලාගෙන සිටින පිටස්තර පුද්ගලයෙක් එම රක්ෂිත වනාන්තරයෙන් නෙරපා හැර වහාම එහි සන්තකය වන සංරක්ෂක ජනරාල් වරයාට බාර දීමට නියම කළේය